Friday, November 27, 2015

79.කමක් නෑ සහෝදර/ස‍හෝදරවරැනී




එකම අහසක් උවත්
මිනිසුන් විවිධ ගොඩක්
නොම දැරිය හැකි කිසිත්
එක ලෙස සිතා දෙයක්

කල එළිය පිරි ලොවක්
කළු සුදුවට බලන වගක්
නොම වැටහුනේ සිතක්
දරුණු මිනිසුන් රැලක්

ජීවිතේ ඇති වටිනාකමක්
නොවැටහෙන මිනිස් සිත් ගොඩක්
හිතෙන් නැති හැඩක්
මියෙන බව දිනක්

ලියා තැබු ලිපියක් දෙකක්
උඩින් පැන ගොස් මඟ අරින හැඩක්
දැනුනමුත් ඉඳ හිට ගොඩක්
කමක් නෑ උඹ තවම මගේ හිතවතෙක්

නොකල වරදකට උනත්
කෙල ගසයි නම් මුහුනට උගත්
නිහඬ වෙමි නිවැරදි නිසා සිතත්
ජයම වේවා හෙට දින උඹේ ලොවටත්

යන්නට සිතමි වාරු බැද ලොකු දුරක්
වේ නම් සහය හැමදෙන ගොඩක්
තුතිම වේවා උඹලා හට බොහොම පිනක්
පාඩුවේ යමි මට රිසි දිඟු මඟක්

Tuesday, November 24, 2015

78.ගිනි කන්දක අසිරිය




                              කාලෙකින් සංචාරක විස්තරයක් ලියන්න බැරි උන නිසා මම හිතුවා ගිනි කන්දක් තරණය කිරීම ගැන ලියන්න.ගිනි කඳු ගැන මම එකටම දැන ගත්තේ පහේ පන්තියේ සින්හළ පෙලපොතේ  පාඩමකින්...ඊට පස්සේ ඩිස්කවරි චැනල් එකෙන්....2006 දී ජැක්සන් ඇන්තනී මහත්මයා කරපු රෝම පුරාණය වැඩ සටහනෙන්...අන්න ඒ දවස් වල හිතුනා එඩ්නා හරි,වෙසුවියස් හරි තරණය කරන්න තිබ්බා නම් කියලා...දෛවය අපේ   ජීවිතේට පුදුම හිතෙන දේවල් එකතු කරනවා,හිනයක් සැබෑ වෙනවා වගේ ඉතාලි ජීවිතේ පටන් ගත්තේම වෙසුවියස් නම් දැවැන්ත ගිනි කන්ද අභියසින්.... අවුරුදු දෙකක් විතර උදේ හවස වෙසුවියස් දිහා බලාගෙන වැඩට යන එන මමත් හබී තුමාත් දවසක් අපේ බ්‍රසීලයේ යාළුවෝ දෙන්නෙක් එක්ක වෙසුවියස් බලන්න යන්න ලෑස්තී උනා..

          මේ ගමනට අපිට යන්න තිබුනේ නාපෝලී නගරයෙන් පිට පොම්පේ නගරාසන්නයට ,ඉතින් අපිට "කුමාන" කියන අර්ධ අදි වේගි දුම් රිය ගන්න උනා... 

:::::;නාපෝලියේ දුම් රිය සේවය කොටස් හතරකට බෙදෙනවා එකක් තමා මෙට්‍රෝ ලයින් 1ක (ලංකාවේ අය නම් කියන්නේ කහ මෙට්‍රෝ එක කියලා) මේ දුම්රිය හරිම වේගවත් පොළොව යටින් තමා නගරය අතුලේ හා නගරයේ පිට ගමන් කරන්නේ අනික මෙට්‍රෝ ලයින් 2 මේක ලංකාවේ කෝච්චිය වගේ අවශයම නැවතුම් පොලවල් 15ක නගරය ඇතුලත හා නගරෙන් පිට ගමන් කරනවා....අනික තමා "කුමාන" මේ දුම්රිය ගමන් කරන්නේ නගරය ප්‍රධාන නැවතුම් පොළ කරගෙන නගරයෙන් පිට මේ දුම්රිය අධිවේගී... අනික තමා 
"ෆුනිකුලාරේ" මේ දුම්රි‍ය (කේබල් ට්‍රේන් කියලා හදුන්වන්න පුළුවන්) කේබලයකින් අවම නැවතුම් හතරක් භාවිතා කරන අතර කදු මුදුනට ගමන් කිරිමට යොදා ගන්නවා මෙ වගේ  දුම් රිය 4ක් නාපෝලි නගරය තුල තියෙනවා...ඔයින් එකක උදේ හවහා මම තුමී වැඩට යනවා,ගෙදර එනවලු ඉතිම් ඈ...:::::::
අපි කට්ටිය
               හරි අපි හතර දෙනාම ඉරිදා දවසක උදේන්ම කුමානා එකෙන් ඇවිත් පොම්පේ නගරය ආසන්නයේ බැහැ ගත්තා ඊට පස්සෙ  යුරෝ  80දිලා හතර දෙනාට ටිකට් ගත්තා හැබැයි ටිකට් එකක ගාන යුරෝ 15වයි 
අපිව ගෙනියන ගයිඩ්ට ඉතිරි මුදල ..කොහොම හරි 
ගයිඩ් නම් පට්ට පොරක් ඉංග්‍රීසියෙන් වගේම ඉතාලියෙනුත් හැම මං සලකුණක්ම අපිට පැහැදිලි කරා.. මග දෙපස මහා කළු ගලින් නෙලල තිබුන කදුළු බිංදු රැදුන මුහුන ,ළමයෙක් වඩන් ඉන්න අම්මා වගේ  රූප දුක පිළිබිඹු කරන කරන බව තමා ගයිඩ් අපිට කිව්වේ...



වෙසුවියස් කදුමුදුන ලග වාහන නැවතුම හා පයින් තරණය කරන මාර්ගය


කදුළු ඇති මිනිස් හිස


දරැවෙක් කර මත හොවා සිටින මව



   ලෝකේ දැනට තියෙන දරුණු ගිණි කඳු අතරින්එකක් විදිහට වෙසුවියස් ගිණි කන්ද හදුන්වන්නේ මිනිස් ජීවිත විශාල ගණනක් බිලි ගත් නිසාලු..1281m උසැති වෙසුවියස් තවමත් අඩ නින්දේ පසු වන බවත් කොයි මොහොතක හෝ ලොකු විනාශයකට මුල පුරන බවත් භූගර්භ විද්‍යාඥයෝ අනතුරු අගවලා තියෙනවා...ඔය වෙසුවියස් පා මුල පොම්පෙයි සහ හර්කියු ලේනියම් නගර පිහිටලා තියෙන නිසා නැවත වෙසුවියස් ඇහැරුනොත් මේ නගර වල ඉන්න දහස් ගණන් මිනිස්සුන්ගේ ජීවිත අනතුරේ බවත් අපි දැන ගත්තා..1037 වර්ෂය වනතෙක් අවුරුදු සියයකට වරක් විසුවියස් කන්ද පුපුරා ගිය බවත්,ඉන්පසු අවුරුදු 600ක් ගතවන තෙක් විසුවියස් නිහඬ වෙලා තිබුනලු..
                     ගයිඩ්ගේ කතා අහලා ලේ වතුර වෙලාතිබ්බට මොකද කන්ද මුදුනටම නැග්ගා කදු මුඳුනේ ඉදලා නාපෝලී නගරය පොඩි ගිණි පෙට්ටි වගේ බිල්ඩිම් වලින් පිරිලා විතරක් නෙවේ කාප්ප්‍රි දූපත උනත් පැහැදිලිවම පේන්න ගත්තා.... කඳු මුදුනේ එකම,එක හරිත පැහැ පැලෑටියක්වත් නෑ හරිම මුඩු බිමක් වගේ... කඳු මුදුන මැද විශාල හෑරුණ වලක් අපිට දැක ගන්න පුළුවන් උනා ඒ ගර්භය තැනින් තැන සූ... හඬින් දුම් ඉහල අහසට නගින අයුරු අපිට දැක ගන්න පුලුවන් උනා පැය කිහිපයක කන්ද මුදුනේ ඇවිදලා අපි ආයේ අපේ ගයිඩ් එක්ක පහලට ඇවිත් කුමාන එක අරන් එන්න පිටත් උනා...



සු ...හඩින් දුම් දමන වෙසුවියස් ගර්භය

                      වෙසුවියස් මුදුණට හිම වැටුනම හරිම ලස්සනයි වගේම ඒ දවස් වලට නාපෝලී නගරයට හමා එන්නේ දත කට පූට්ටු වෙන සීතල හුළන් හරිම
දරුණුයි...නාපෝලිය සුන්දරත්වයකට ඇඳ බැඳ තබා ගන්න එකම සාධකය වෙසුවියස් බව නොරහසක්.1944 අවසාන ඇහැරිල්ලෙන් පසු අද වන විට අවුරුදු 71ක් තවමත් නින්දේ සිටින වෙසුවියස්  ඇහැරෙන තුරු භූගර්භ විද්‍යාඥයෝ අවදියෙන්....




ඉහල සිට පෙනෙන විසුවියස් කන්ද



හිම පතිත වෙසුවියස්


වෙසුවියස් වෙතින් සොයා ගත් පාෂාණ වර්ග
හබීතුමාගෙන් ගිය සතියේ ලැබුනු තෑග්ග


Tuesday, November 17, 2015

77.නුඹ-ඇය-මම




පෙර නිමිති නැතුවම
කොළඹ අහසින් 
ඇද හැලෙන 
අකල් වැස්සක
තෙමෙන මේ හිත
හීතලට වෙව්ලමින් 
හිත පුරා සොයා යන
නුඹ............

නියර අද්දර
අව්ව සිඹලන
වැස්ස උහුලන....
දුවා දරුවන්
රැකබලාගෙන....
අහිංසක ලෙස
මේ කාලකණ්නි හිත මතට
මල්,පහන් පුදන
ඇය.........

තුන් හිතම
වේදනාවෙන්
ඉකිලන ....
කෙසේ පැතුවත් 
සුභ සිහින දහසක්
සුනුවිසුනු වී යලි,යලිත්
වරදේ පැටලෙන
මම............
______ශානු_______

Thursday, November 12, 2015

76.විරාමයක්



       නිදා ගත් වේලාවක් මගේ මතකයේ නැත..රෑ පුරා ඇහැරුනු වෙලාවල් කොපමණක්ද යන්න මතකයේ නැත නමුත් ජනෙල් කවුළුවෙන් කාන්දු උන හිරු එළියත්,එළිමහනෙන් ඇහෙන පාසල් යන ලමුන්ගේ ශබ්දය අනුව නම් නිසැකවම මේ උදේ යැයි හිතට තහවුරු විය.අඩ නින්දෙන් මිදෙන්නට උවමනාවක් නොවුන මම   ඊයේ රෑ පුරා අඬපු ඇස් තව ,තවත් තද කරන් කුරුළු පිහාටු කොට්ටයට මුණ ඔබා ගත්තා ...බ්ලැන්කට්ටුව ඔළුවේ ඉදන්  පොරවන් හිතත් එක්ක පොර බදින්නට උනා...
හීන් කෙඳිරිලි හඬක් සමඟ මම මගේ හිතට කෙදිරුවා...
       "මට උබ නැතුව බෑ....ඔව් මට බෑ...."
        "ඒත් උඹ තනියෙන් අද ඉදන්"

         අනන්තයට දුක හිතුනම ඇස් කොන හරි නපුරු විදිහට කඳුලට ගලන්න ඉඩ සලසනවා ඒක හරිම පිලිකුල් සහගතයි....හිතේ බර නිදහස් කරන දිග සුසුම් වැල් කුරුළු පිහාටු කොට්ටය පතුලට කිඳා බැස මුහුනට ගෙනෙන උණුසුම ටික වේලාවකට සහනදායි උනත් හුස්ම ගැනීමට අපහසු වු නිසාවෙන් මම කොට්ටයට ඔබා සිටි මුහුණ සීලිමේ සීට් දෙකක් අතර හිඩැස් ඉරකට ලම්භකව තියා නිසොල්මන්ව ටික වේලාවක් ගත කරා....ඊයේ වෙනකම් වරා මලක් වගේ සැහැල්ලුවෙන් නැලවුන ජීවිතය මේ විදිහට තැවෙන්න දැවෙන්න උනේ ඇයි කියලා මට හිතලම ඇති වෙලා තිබුනා...
                    ක්ෂණිකව බ්ලැන්කට්ටුව ඉවතට වීසී කරපු වේගයට ඇඳෙන් නැගිට ගන්න බැරි උනත් මම ඇද මත ඉදගෙන වම් බිත්තියට මුහුනලා ඔහේ බලන් හිටියා .එහි එල්ලා තිබුනු කියුබානු සුරුට්ටුවක රස විඳින චේ මට දුන්නේ මහා උජාරු විමුක්තිදායක බැල්මක් උනත් විමුක්තිය ගැන මට හරිම අවිනිශිචිත හැඟීමක් දැනුනා.දහසකුත් එකකක් සිතුවිලි අතර ඔබමොබ යද්දී දනිස් පොල්කටු මත අල්ල තබා වාරෑ ගෙන හීන්සැරේ ඇදුනේ බැල්කනි ජනේලය වෙත...අවට පරිසරයම කිරිම,කිරි පාටට හිම වලින් නෑවිලා...කොල නැති ගස් පවා අතු රිකිලි මත දරාන හිටියේ හිම පියලී..විටින් විට හැමු හුළගක් දඩබ්බර ලෙස ජැනෙල් හිඩැස් අතරින් හීනියට ඇවිත් ඇග කිලිපොලා යන සීතලක් දුන් නිසාම ජැනේලය අසලින් ඉවත් උන මම පොත් මේසය කරා ඇදුනී...
         මේස ලාච්චුවේ තිබු කැනස් මල් වෛයිරම් පිට කවරයකින් හැඩ උන දින පොත මේසය උඩ තිබ්බා...ඊට පස්සේ අසල තිබ්බ රතු පෑනෙන් ඊයේ දිනයත් අද දිනයත් අලලා යමක් ලියන්නට අකුරු ඇමුණුවා...
   
         "පුරා අවුරුද්දකට ආසන්න කාලයක් මා සමඟ සිටි ඔහු...ජිවිතය බෙදා ගත් ඔහු..සියලු දේ හට විරාමයක් දි නික්මුනා...
එහෙත් මම තවමත් ,
මැරෙණකනුත් මගේ මනෝ භාවයන් තුල ඔහුට ප්‍රේම කරණු ඇත...
හිත සැහැල්ලු වෙන්න අඬපු මම ,උඹ දැන් ලොකු පරතරයක හිඳ එකිනෙකා දෙස බලාන හිටියත්
 නැවත නෝඑන ගෙවු කාල මතකය පමණක් ඉතිරි කර විරාමයක් තබා නික්මුණ අපි,අපිට අහිමි බව නම් මෙසේ ලියමි....
අලුතින් උදා වු දවස් අතර  ජීවිතේ සොයා යෑමට තීරණයක හෙබී සිතුවිලි මුදුන් කොට,
 මම ,උඹ අතර දිවයන සිතුවිලි වලට විරාමයක් තබමින් නිදහස රිසිසේ බුක්ති විදිමි"




Friday, November 6, 2015

75.ඇය-මොණර කොල-අතර-නිවන


රෑ අහස් කුස 
තරු කූරු අතර එල්ලෙන
ලයිට් එළි අතර 
සඳත් තිබුනා පිරිපුන්ව

රැහැයියන්ගේ හඬ
බකමුණු හඬ
අතර තුර ඇගේ කෙඳිරිල්ල
ඇසුනේ වීදියේ කොනක සිහිසුන්ව

නේක විදුලි බුබුළු සැර පරදන
රථ ඇදි යයි වමට,දකුණට 
ඔහේ  දුම් දමා පිට ලෝකයට
ඒ අතර තුර
ඇය විකුණා දමති ඇගේ පතිවත 

දෙදහා,දෙදහා එකතු කර
අළුයම බලයි ගණන් මොණරු කොල
කප්පමක් දී මස් කටු විලස බල්ලෙකුට
ඇය නික්ම යයි ගේ දොර බලා සුභ නිමිති ගෙන

වෙනිවැල් ගැට,පැනඩෝල් වල පිහිට
එයි අතෝරක් දුක් ගැහැට මත දුක් බරව
අවාසනාවක මහත කියන්නේ කෝම
ඇය පෙරලුනා නින්දට මහා දවාලක සැපට

නින්දක ලැබෙන සුව විඳ මොහොතක
යන්නට යයි හවසට පෙර ලෙස නිදිවරන්නට
විකිණිලා රැදුරැ ලෙස තුට්ටු දෙකකට
නැඟණියේ තවම සංසාරේ දිග වැඩි අත පෝවන්නට

_ශානූ_
S H A N U

Sunday, November 1, 2015

74.ගඩොලක කතාව 04 -(අප්පච්චිගේ මතකය)


ගඩොලක කතාව 03 <= මෙතනින් කියවන්න
         හීනියට හිත රිදෙන දවසක නිමාවත් සමඟ  මට සිහි වෙන දේ ලියා තැබිය යුතුමය.
       මම හුස්මක් පිට කලේ හිතේ තිබුන වේදනාව එළියට විසික් කරලා අතීතෙට යන්න ...
     සෙනෙහස,හීන එකට ගොනු කර මැටි සමග උදේ සිට හවස් වන තුරු අනන අපේ අප්පච්චි....
      මට මතකයි ඒ දවස් වල අප්පච්චි  උදේ තේ කහට එක බීලා විටක් හපන් ගේ දොරකොඩට ටිකක් එහායින් මැටි එක්ක යුද්දේ පටන් ගන්නවා...හරි හරියට  කකුලෙන් මැටි පාගනකොට ඇහෙන "චිරි...චිරි'' සද්දේ අදටත් මගේ කන් වලට ඇහෙනවා....ඇහෙනවා වගේ...එකම කමිසෙයි,කලිසමයි තිබ්බ මට .... ඒ ඇදුම්  තිබ්බ කහට තිත් ගාන කොච්චරද කියලා කියන්න බැරි තරම්.... නිරුවත් වෙච්ච කකුල් වල ගඩොල් මැටි වැහි දවසට පෑගෙනකොට කිරි පැණි වගේ ඇගිලි කරු අතරින් බේරෙනකොට රබර් සෙරප්පු දෙකක් තිබුනා නම් කියලා හිතුන වාර අනන්තයි... ඒ වෙනුවෙන් අම්මට වද කරපු වාරත් අනන්තයි...වේල් තුනටම එක වේලකින් පිරිමහද්දි රබර් සෙරප්පු කූට්ටම හීනයක්ම වෙලා ගියා....
            අප්පච්චි උදේට ඉදලා හිටලා දෙන සත 5 පරිස්සම් කර ගත්තේ මැණිකක් වගේ... ගොඩක් වෙලාවට ඒ සත 5 ගියේ  කැටේට...අනිත් ළමයිට වගේ බුල්ටෝ එකක් වත් කන්න මට ආසාවක් නොතිබුනේ ගෙදර තිබ්බ අඟ හිඟකම් ඕනටත් වඩා මගේ මනස ආක්‍රමණය කරලා තිබුන නිසා වෙන්න ඇති....
               අප්පච්චි යෝධයෙක්..... දසමහ යෝධයෙක් කියලා මට දැනෙන්නේ තනියම මැටි එක්ක ඔට්ටු වෙලා කපා ගත්ත ගඩොල් එකින් එක පෝරනේ අඩුක් කරලා පොල් කොටන් අවුලුවලා ඒ දිහා  පැත්තකට වෙලා ඇන තියන් බලන් ඉද්දීයී. මැටි ගල් රතට රතේ දිලිහිලා අලුත් සුවඳක් හමනකොට අප්පච්චිට විතරක් නෙවේ ගෙදර හැමෝටම අලුතෙන් උපන් හැඟිමක් හිත මෝදු වෙනවා...ඒත් කලාතුරකින් ගඩොල් පෝරනුවම නිසි මුදලකට විකුණන්න ලැබුනත් බොහෝ වෙලාවට උනේ දෙක පහට අප්පච්චිගේ මහන්සිය උකස් උන එක විතරයි මට තේරෙන වයසේ ඉදන් ඔය රටාවට මුහුණ දෙමින් ගෙවිච්ච දවස් මහා ගොඩයි.... සල්ලී අතේ ගැවසෙනකම් අම්මා හැමදාම අරපරිස්සමට අපිට වේලක් ඇර වේලක් කන්න දුන්නත් අප්පච්චිගේ හිතේ හයිය එක්ක ආයෙමත් මැටි එක්ක ඔට්ටු වෙන්න පටන් ගන්නේ අලුත් ගඩොල් පෝරනුවක් පුච්චන්න....
             සමහර දවස් තිබුනා ගඩොල් දාහකට ,දෙදහකට ආසන්න ගානක් මොර සූරන වැස්සට අහු වෙලා පොළොවටම දිය වෙච්ච....එදාට අප්පච්චි දවසම හුල්ලන හැටි මම බලන් ඉදලා තියෙනවා..ඔහොම අප්පච්චි හුල්ලපු දවස් විතරක් නෙවේ මාස ගනනුත් තිබ්බා ඒ විතරක් නෙවේ අප්පච්චි දවසක් අපිව තුරුල් කරන් අඬපු හැටි අදටත් මට මතක් කරල දෙන්නේ පෝරන් වල පොල්කොට වේදනාවෙන් පිච්චෙන සද්දේ.....
           අප්පච්චිට හැමදාම උවමනා උනේ අපේ කුසගින්න නිවන්න ,අකුරක් දෙකක් කියව ගන්න ඉස්කෝලේ ගියාම ඇති කියලා හිතපු අප්පච්චි අපිට කියලා දුන්නේ දෑතේ රස්සාව.... අම්මත් එක්ක එකතු වෙලා ජීවිතේ ජය ගන්න උත්සහ කරපු අප්ප්ච්චි අපිට කියලා දුන්නේ දුප්පත්ව ඉපදුනාට දුප්පත්ව මිය යා යුතු නැති බව....
           අප්පච්චිගේ දෑතේ හයියෙන් මම පෝෂණය උනාට වඩා මගේ දරුවෝ ඉහල යා යුතු යන්න අප්පච්චි නිතර දෙවේලේ කියු කතාවක් මගේ ජිවිතේ මහා දුරක් වෙනස් කර ඇත....
          ඇසට උනන කඳුළු කුළුදුල් නැත අප්පච්චි ගඩොල් පෝරනේ පුච්චන තැන මගේ අතින් සෑදු ගඩොල් පුළුස්සන සෑම විටකම මේ කඳුළු සුපුරුදුය....මගේ අප්පච්චිගේ හයියෙන් ඉගෙන ගත්ත අකුරු සාස්තරේ අල්ප උනත් මා එයින් උපයා ගත්තේ ජීවිතයේ වැදගත්ම සංදිස්ථාන කිහිපයකී...
                ගඩොල් පුංචි බණ්ඩගේ පුතා අද ගඩොල් මුදලාලි කෙනෙක් වුවත්....
                  දරුවන් ඉහලට ඉගෙන ගත්තත්....
    තවමත් අප්පචිචි නැමති දස මහා යෝධයාගේ මතකය පහුරු ගා අතීත සුවඳ විදිනවාට වඩා සතුටක් මට නැත....මිය යන තුරුම .....අලුත් ගඩොල් සුවඳ අප්පච්චිගේ මතකය හිත අස්සට කැන්දන්න එන බව නම් නොරහසකි
     අප්පච්චිට හරි ගැඹුරට ආදරේයි
                  මං,
                        ශානු