Sunday, July 17, 2016

99.ළදරැ පාසලේ පොඩ්ඩෝ

                     අවුරැදු 25කට පස්සේ ආයෙමත් ළදරැ පාසැල් ගියා ඒක හරිම සතුටුදායක අවස්තාවක් හරියටම මට අවුරැදු 4 රෙදි ළදරැ පාසැලේ උගන්නපු ගුරැතුමීම තාමත් ළමයින්ට උගන්වනවා දැකීම තරම් සතුටක් තව කොහෙන්ද?
                       පොඩි උන් ඒ මේ අත දුවලා පැනලා සෙල්ලම් කරද්දී මතකය ඇදුනේ අතීතයට එතකොට මට අවුරැදු 3 යි මාව අවුරැදු දෙකක් ළදරැ පාසලේ තිබ්බා..මම තරම් ළදරැ පාසල් යන්න හොර හෙරක් තවත් හිටියේ නැතුව ඇති,අම්මා ළදරැ පාසැලේ මාව දාලා යනකොට යටි ගිරියෙන් කෑ ගහලා අඩපු හැටි අදටත් ගුරැතුමී මතක් කරන්නේ හීන් හිනාවක් මුණේ රද්දවගෙන...ඒ දවස් වල මගේ ඇඩිල්ල නවත්වන්න බැරි කමට අපේ පප්පා(අම්මගේ තාත්තා) මට පේන මානෙක් ඇන තියන් ළදරැ පාසල ඉවර වෙනකම් ඉන්නවා...
ඊට පස්සෙ මාව පුට්සයිකලේ පැඩල් එක උඩ චූටි කකුල් දෙකෙන්  හිටවලා කිලෝමීටරයක් විතර දුර තල්ලු කරන් ගෙදර ගේනවා ළදරැ පාසල් යන කාලේ මම හිටියෙම පිරිම් ළමයි එක්ක ඒ දවස් වල මට හිතුනෙම මාත් අයි ආර් සී ළදරැ පාසැල් චන්ඩියෙක් කියලා හැක් ඒ තරම් නසරානී මං ;)
                 මේ දේවල් මතන් වුනේ මම ලංකාවට ආව පහු ගිය ටිකේ අපේ ගෙදරට ලැබුන සිගිති පොලක් තියෙන ආරාධනා පත නිසා... මමයි අම්මයි තැඹිලි වගේකුත් අරන් පුංචි අයගේ හිත් සතුටු වෙන විදිහේ ආදාරයකුත් කරලා ටීච එක්ක කතා කර,කර ඉද්දී ළදරැ පාසලේ විස්තර කිව්වා පොඩි අයට සිකුරාදා දවසට අයිස්ක්‍රීම් දෙන බව ටීච කිව්වා ඔය දේ හිතේ තියන් මායි අම්මයි ගෙදර ආවා

යුනිෆෙ‍ේම් එක

                       ගමේ ළදරු පාසලට එන්නේ බොහොම දුප්පත් ළමයි, දෙතුන් දෙනෙක් ඇරුනු කොට අනික් හැමෝම හරි අසරණ ආර්ථික අපහසුකම් වල ඉන්න ළමයි .. ලොකුවට යමක් කරන්න ලෑස්තියක් තිබුනේ නෑ මම ලංකාවට ආවෙත් හදිස්සියේ අම්මගේ අසනීප තත්වේ නිසානේ  ඉතින් සිකුරාදා දවසක ළමයින්ට අයිස්ක්‍රීම් දෙන්න බාර ගත්තා...ළමයි 28ක් විතර  ඉන්න ළදරැ පාසලේ එදා දවසේ හිටිය ළමයි 15කට විතර අයිස්ක්‍රීම් දුන්නා පොඩි උන් හරි ආසාවෙන් අයිස් ක්‍රීම් කෑවා ඒ කාලා ඉවර වෙලා පොඩි උන් සෙල්ලම් කරන් තැනට වෙලා ඉද්දි පොඩි කොලු පැට්ටෙක් ඇවිත් 

"අම්මා ඕනේ"  කිව්වා

පස්සේ ඉතින් දන්න විජ්ජා දාලා කොලු පැටියව ෂේප් කර ගත්තා ඒ කොලු පැටියගේ අම්මා මගේ එක්ක ළදරු පාසැල් ගිය කෙනෙක් ඕන් බලන්න ඉතින් ඒකෙත් හැටි...
.
                    තව පොඩි පිරිමි ළමයෙක් හිටියා ටීච නම් කිව්වේ ඒ ළමයා හරි දක්ෂ බවත් ශ්‍රවන දෝෂයක් නිසා කතා කරන්න බැරි බවත් ඒත්  මම ලගට අරන් 

"අයිස් ක්‍රීම් රසද "අහද්දී

ඔළුව හොල්ලලා ඔව් කිව්වා ....

ඒ දරැවා ඇත්තටම පව් ටීච කිව්වේ අම්මයි,තාත්තයි හැම මාසෙම ක්ලිනික් අරන් යනවලු බෙහෙත්හේත් කරන්න ..අපි ඒ දරැවට ඉක්මන් සුවය පතමු ...ලංකාවේ ඉදිය නම් යමක් කරන්න තිබ්බා ඒත් බලමු ඉදිරියට....
    
                     ඉතින් චන්ඩී බන්ඩී අතර සපත්තු කූට්ටමක්වත් නැති ළමයිනුත් නොහිටියා නෙවේ... ඒත් අපි ළදරැ පාසල් යද්දී අපි ඇන්දේ පාට ඇදුම් දැන් ළමයින්ට එක වගේ යුන්ෆෝම් තියෙන එක නම් සතුටට කාරණාවක්... අපේ කාලේ එක්ක බලද්දී ගමේ ළදරැ පාසල යම් කිසි මට්ටමක ඉදිරියෙන් තිබිමම සතුටක්....කොහොම නමුත් ඊ ලග පාර ටිකක් ලොකු යමක් කරන අදිටනින් තමා ළදරු පාසලෙන් පිට වුනේ.. 


අයිස්ක්‍රීම් බෑග් 
පොඩ්ඩෝ අයිස්ක්‍රීම් කන ගමන්.

එදා හිටිය පොඩ්ඩෝ ටික



චන්ඩි බන්ඩි සෙල්ලම් කරනවා.

ඒ පිට වෙලා එන වෙලේ පුංචි එව්වෝ  
"තෑන්ක් යු ඇන්ටී" කියලා 
     යටි ගිරියෙන් කෑ ගහපු හැටි ළදරැ පාසැල් පින්තූර බලද්දී කන් දෙකේ රැව්පිලි
 රැව් දෙන අතර හිතට දැනෙන සතුට විස්තර කරන්න මට වචන මදී.....
අන්තීම මොහොතේ "තැන්ක් යු "ඇන්ටි කියලා කෑ ගහන පොඩි අය





Sunday, June 12, 2016

98. මායිම් ගමේ වීරමනී



            දමිත් අසංක කියන්නේ වෙරලියද්ද මහත්තයට චාමර වීරසිංහට කට හඩින් පොඩි සමානකමක් තියෙන ගායකයෙක්...හැබැයි ඔය කට හඩවල් තුනම මට ඇහෙන්නේ එක කාල වකවානුවක.... මොන ජාතියේ ගීතයක් වුනත් මම රස විදින එක නම් ගීතයෙන් ගීතයට වැඩි වුනා මිස අඩුවක් නම් වුනේ නෑ .. අද ලියවෙන්නේ දමිත් අසංකගේ හඩින් හදවත ස්පර්ෂ කරපු ගීයක පද වලට මට එකතු කරන්න හිතුන අකුරැ ටිකක්...

මායිම් ගමේ වීරමනී නුබ කාටද අයිතී
ඒ පැත්තට ගියොත් හැබැයි තුවක්කුවට අයිතී
සාමේ තියන් යුධ කෙරැවට සාමේ නෑ පිබිදී
බොරැවක් නොව අපි ඔක්කම එකම තැනක පැටලී  
                  
             ඒ යුද්ධේ කාලේ මායිම් ගම්මාන වල සිංහල දෙමළ මිනිස්සු රෙදිකඩ මල්ලක් අරන් රෑට,රෑට කැලේ පනිනවා කොටි ඇවිත් මරයි කියන බයට සිංහල මිනිස්සු අමු අමුවේ මරලා දාලා දරැවෝ හිතක් පපුවක් නැතුව මරලා දාපු කාලයක් තිබ්බා ඔව් ඕවා මතක් වෙද්දි දෙමළ මිනිස්සු ගැන අපිට දැනෙන්නේ මහා පිළිකුලක් ඒත් මායිම් ගම්මාන වල හිටිය දෙමළ මිනිස්සු කැලේ පැන්නේ ඇයි? උන්ගේ උන්මනේ කොටි,නෑ කොටි උන්ව මැරැවේ නැති වුනාට නේක දුක් විදලා වේලක් නොකා වේලක් කාලා හරි හදා වඩා ගත්ත තමන්ගේ දරැවෝ ළමා සොල්දාදුවෝ විදිහට පුහුණු කරන්න පන්නන් යයි කියලයි....සිංහල දෙමළ කියලා නෑ  මිනිස්සු කවුරැත් කැමති සාමෙන් ඉන්න අන්න ඒකයි ඇත්ත..මහා උන්ට රට දෙකඩ කරන් අයිතී ඉල්ලන්න ඕන උනාට හැම මිනිහටම ඕන වුනේ කාටත් කරදරයක් නැතුව ජීවත් වෙන්න...සරත්ලගේ,ගුණේලගේ,සමන්ලගේ ලේ .... කුමාර්ලගේ,වීරමනීලගේ,සාමිලගේ ,නඩේෂන්ලගේ ලේ වැටුන උතුරැකරේ වැලි කැට වලට පුළුවන් නම් අඩයි.. මහා කාලයක් තිබ්බ යුද්ධේ දුක කියලා..

යාපනයේ පුස්තකාලයටත් සිංහල පොත් එපාද
තල් ගස් වල කරටි නැතුව තල් කිරි රස තවම නැතිද
ජිවිතයේ උරැමය මරණය බෙල්ලේ බැදන් ඉදිද
යාපනයට ඇවිත් යන්න අපිටත් පිං ලැබෙයිද
             
               යාපනේ පුස්තකාලෙට සිංහල පොත් තිබ්බම අකැපයි කියලා හිතපු නෝන්ජල් නායකත්වයක් තිබ්බ උතුරේ මායිම් ගමක උගන්වන්න ගිය දෙමළ ගුරැවරියක් මට අපුරැ කතාවක් කිව්වා තල් කියන්නේ කෝකටත් තෛලය වගේලු ,උතුරේ මිනිස්සුන්ගේ ගොඩක් ගෙවල් සෙවිලි කරන්න එහෙම අරන් තිබුනේ වියළි තල් කොලලු...තල් වලින් හදන කෑම ජාති වුනත් ඒ මිනිස්සු පාවිච්චි කරේ බඩිගින්නට කොයි කෑමත් ඔට්ටුයි කියලා හිතන්ලු... අපි රෙදි වලට ගාන්න සන්ලයිටුයි ඇගට ගාන්න සුවද සබන් ජාතියි ගද්දී ඒ ළමයි තල් ඇට වලින් රෙදි වල අතුල්ලලලු තමන්ගේ සුදු ගවුම් පවා හෝදන්නේ...අම්මා,අප්පා කියලා ලිව්වට උන්ටත් පුංචී හිත් වල හීන තියෙන්න ඇති...ඒත් සරෝජලට වගේ වෙඩි සද්දෙට අකුරැ ඇද වෙලා ජීවිතේ දුක් විදින්න සිද්ධ වෙන්න ඇති....
           කටේ කිරි සුවදවත් යන්න කලින් මරණය ඊයම් කොපුවක හිර කරලා බෙල්ලේ එල්ලපු ළමයි ගැන හිතන කොට......ලොකු වෙලා ලස්සනට කසාදයක් කරන්න හීන 
දැකපු අම්මා කෙනෙක් වෙන්න හීන දැකපු තරැණියෝ නිරපරාදේ ටී පනස් හයට,මරාගෙන මැරෙන බෝම්බ වලට , සයිනයිඩ් කරලට ජිවිතේ වේදනාවෙන් බිලි දෙන්න ඇද්ද....ඒ ගැන හිතනකොට අදටත් මගේ ඇගේ හිරි ගඩු පිපෙන්නේ බයට...


පිට කොටුවේ බෝ ගහ යටට එන්නට නුබ බයයිද
කතරගමට බාර වෙන්න නුබට ටිකක් එන්න බැරිද
වවුනියාවේ යන්න කෝච්චියට මරදානෙන් නගින්න
කොළඹ පැත්තේ ඇවිත් යන්න උඹටත් පිං ලැබේද


          2005 අවුරැද්දේ මම තාත්තා එක්ක කොළඹ ගිහින් එද්දි වව්නියා බස් එකට නැගලා දෙමළ අම්මා කෙනෙක් ඉදගෙන හිටිය ෂීට් එකේ මෙහා පැත්තේ ඉද ගත්තා මොකද කවුරැත් ඒ දෙමළ අම්මා ලග ඉදගන්න කැමැත්තක් දක්වලා නෑ කියලයි මට හිතුනේ... මොකද එතන කිහිප දෙනෙක් හිටගෙන තමන්ගේ ලෝක වල හිටියේ ...ඉහෙන් කනෙන් දාඩිය පෙරන් හිටිය  අම්මා මගේ අතේ තිබ්බ වතුර බෝතලෙන් වතුර ටිකක් ඉල්ලුවේ පිපාසේ වැඩි කමට වෙන්න ඇති මම එතකොට කටේ තියන් වතුර බාගෙට අඩුවෙන් බීලා හිටියේ 

"මම,කට තියලා වතුර බිව්වනේ"
   
මම එහෙම කිව්වේ වතුර දෙන්න අකැමැති කමට නෙවේ ඇත්තටම කටේ තියන් බිව්ව නිසා

"අනේ කමක් නෑ නෝනා, වතුර ගන්නවත් කොළඹ කඩේකට යන්න බෑ සිංහල අය අපි කොටි කියලා හිතන් බලනවා"

මම අතේ තිබ්බ වතුර බෝතලේ දුන්නම තිබහා කොච්චර තිබ්බත් වතුර උගුරැ දෙකක් විතර බීලා බෝතලේ දුන්නා.... ඒ වෙනකොට මම බහින්න ලං වෙලා හිටියේ 


"නෑ අම්මා තව දුර යන්න ඕනනේ මේ වතුර බෝතලේ තියා ගන්න,මම තව ටිකකින් බහිනවා" 

"නෝනට පිං තමා"

....කියලා ටිකකින් ඒ අම්මා හදිස්සියෙන් පොඩි පර්ස් එකක උන්ඩි කරපු කොලයකුයි,පෑනකුයි අරන්

"නෝනා මගේ එඩ්රස් එක ලියා ගන්න,යාපනේ එන්න කලින් ලියුමක් දාන්න"

මම කොලේ අරන් පෑනෙන් ඒ අම්මා කිව්ව එඩ්රස් එක ලියා ගත්තා ඒත් මට ලියුමක්වත් ලියන්න බැරි වුනා...
අවුරැදු 11ක් තාම ඒ මුණ මැවිලා පේනවා... ඒ අම්මා ජිවතුන් අතරද කියලා මම දන්නේ නෑ
_____________________________________

ඒ වගේම 2012 ලංකාවට එද්දී රෝමයේ ගුවන්තොටුපලේදී හම්බුන සෙල්වම්,මාලනී යුවලගේ පුතා ධනුෂ් යුද්ධේ කාලෙදී ලංකාවෙන් ඇවිත් පුතාට තමන්ගේ රට පෙන්වන්න යන පලවෙනි පාර ලංකාව ගැන කිසිම දෙයක් දන්නේ නැතුව ඉතාලි බසින් මගෙන් විස්තර ඇහැව්වා... ලංකාවට ගොඩ බැහැලා බණ්ඩාරනායකයෙන් එළියට යනකම්ම පාර කියන්න මට අවස්තාව ලැබුනා...අදටත් ඒ පවුලේ උදවිය ඒ පුංචි දේ හරි ඉහලින් මතක් කරනවා....
                යුදධේ ඉවර වුන එක ගැන ජාති බේද නැතුව හැමෝම සතුටු වෙනවා අන්න ඒක සිංහලකම...තෝස,වඩ,සාබ්බාරැ ,ඉට්ලි කන්න අපි වගේම උතුරේ මිනිස්සු කැවුම්,කොකිස් ආස්මී කන්න ආසයි කියලා අමතක නොකර ඉමු.... 

Monday, May 23, 2016

97.ගංවතුර බහිනවා... ඒ එක්කම මනුස්සකම බැහැලා යයිද?



 ගිය සතිය පුරාවට අපේ රටේ මිනිස්සුන්ට වෙච්ච දේවල් වලට පිටරටක ඉදන් හුල්ලන්න වෙන එක වචනයෙන් විස්තර කරන්න බැරි තරම් හැගීමක්... ලංකාවෙන් ඈතක ඉදන් අවතැන් වෙච්ච අයට උදව් කරන්න මුල්‍යම ආදාර දුන්නට ශ්‍රමයෙන් මොකුත් කරන්න බැරි වෙච්ච එක ගැන මොකක්දෝ මුසල හැඟීමක් හිත මෝදු වෙලා තිබුනේ...ගිය ටිකේ උදේ ඇහැරිච්ච ගමන් කලේ නිව්ස් ෆීඩ් බලනවට වඩා ෆේස්බුක් එකෙන් දැන් මොකද වෙන්නේ කියලා හොයපු එක  ..... 
                  හිතට වැදිච්ච ටික මෙහෙම ලියන්න හිතුවා.....
                       අරණායක පස් කන්ද නාය යද්දි යට උනේ අපේම උන් ,පහුවෙනිදා ආමි එකෙන් වැස්ස නොබලා ගොඩ ගත්ත මැටි පාට මළකඳන් (දරැවෝ වැඩිහිටි බඩදරැ අම්මා )ඇහැ තෙත් කරේ ජාති බේද නැතුව ,  දරැ ගැබ පරිස්සම් කරන්න කුසට අත තියන් මියැදුන අම්මා දකිද්දි ඇස් රතු කරන් මතක් වුනේ  ටික කාලෙකට කලින් මම ලියපු ලතින් භාෂාවෙන් දෙවන පිරිහිම හෙවත් පොම්පේ නගරය මේ ලිපියේ තිබ්බ ලෝ දිය ගලද්දි තමන්ගේ කුසේ දරැ ගැබ බේර ගන්න මුනින් වැටිලා ඉන්න අම්මා ලෝ දියට ගල් වෙච්ච සිද්ධිය... 

            අපේම උන්ගේ කුස ගින්න,පිපාසය ඇතුළු මුලික අවශ්‍යතා  සපුරන්න කඩවත මාලති අක්කා පුළුවන් විදිහට ප්ලාස්ටික් බෝතල් එකතු කරන් පිරිසිදුවට ලිං වතුර පුරවලා ලෑස්තී කරද්දි.... තව වුන් වතුර එකතු කරද්දී.... කොළඹ ෆාර්ෂාන් ඩිමෝ බට්ටෙක් අරන් ආදාර එකතු කරා..මාතර මැක්කු මල්ලී වතුරේ බැහැන් මනුස්සකම කරේ තියන් ජිවිත මහා ගොඩක් ගොඩට ගෙනාවේ උපන් දිනේට මනුස්සකමේ කේක් ගෙඩිය රස විදිමින්....ඒ අතර බෝට්ටු සැපයු අයත් හිටියා.... බත් පාර්සල් 50 ඉදන් 1000 වෙනකම් දුන්න අය ඉද්දී... ඇදුම් එකතු කරන්නත් කට්ටියක් අමතක කලේ නෑ...ගයාන්ලා ඉතාලි ඉදන් උදව් හොයද්දි රසිකලා විශ්වලා සුපර් මාකට් හිස් කලා ආදාර එකතු කරන්න ........නලින් අයියගේ පොඩි යෝජනාවකට  කෝච්චියේ එන අයට බත් පැකට් එකක් වැඩියෙන් ගේන්න කියලා ඉල්ලුවම අතේ තියෙන බත්  එක හරි දීලා  යන්න  අපේ රටේ උන් කොටසක් දෙපාරක් හිතුවේ නෑ ඉතින් බත් පැකට් වලින් ස්ටේශමේ බංකූ පිරෙව්වා ඒ එක්කම් අවතැන් වෙච්ච ගොඩක් අයගේ බඩ පුරවන්න පුළුවන් වුනා....කොටිකාවත්තේ ගෙදර උඩු මහලේ  ඉවානයා පවුලේ අය,අසල්වැසී කීප දෙනෙක් එක්ක කොටු වෙලා කිව්වම  බස්සී,සින්දු ඇනෝලා,චෙෆාකී,(මතක නම් ,තව අය හිටියා) උදව් ඉල්ලුවා.... බස්සි ළමයි වෙනුවෙන් අතහිත පටන් අරන් අකුරැ ඇහිදින්න යෝධ පිම්මක් තියද්දි හතර වටේ දන්න නොදන්න උන් එකට එකතු වෙලා සහයෝගේ දුන්නා, සමහරැ ගං වතුර ආදාර අරන් ගියේ කිඹුල්ලු ලගින වතුරෙන්.....,සිරිපාලලා,ශිවාලා අබ්දුල්ලා,ඇන්ටනීලා එනිනෙකාට උදව් කර ගත්තා... කතා කරලා අපිව බේරගන්න කියන්න බැරි... අපිට බඩගිනී කියන්න බැරි සුනඛයෝ,බළලුන් බේර ගන්නත් තවත් කොටසක් අමතක කලේ නෑ.... වෛද්‍ය සහය ලබා දෙන්නත් දොස්තර මහත්තයෙක් දෙපාරක් හිතුවේ නැති දසුනක් බුකියේ දකින්නට ලැබුනා...බේහෙත් හොයලා දුන්න අය,තව වෛද්‍යවරැත් හිටියා....මේ පහු ගිය සතියට දැක්ක බොහොම අපුරැ මනුස්සකම් ටිකක් තව මේ අතර නොකිය වෙච්ච අයත් එමට ඉන්නවා කියලා දන්නවා ඒ අයට අපි ස්තූතීවන්ත වෙන්න ඕනා.... පිං දෙන්න ඕනේ.... මොකද ? මම හිතන්නේ තිස්තුන් කෝටියක් දෙවිවරැන්ගෙන් බොහෝමයක් දෘශ්‍යමානව ලංකා‍වේ ඉන්නවා  එහෙම ටික දෙනෙක් ඔය උඩ ඉන්නේ කියලා බය නැතුව මම කියනවා...‍ ඒ අතර බොර දියේ මාළු බාපු හැතිකරේ නැතුවමත් නෙවේ උන්ටත් සොබා දවසක දඩුවම් දෙයි...(දේස+පාලුවන් ගැන කතා නොකරමි කව්රැ හරි ඌනපුර්ණය කරනු ඇතැයි සිතමි) නාලාකා වලින් කල සහයද අමතක නොකරමු..

ඒ අතර නොකියම බැරි දේවල් දෙකක් තියෙනවා ,ගොං පෝස්ටුවක් ලියු රටේ අනාගතය කරට ගන්න ඉන්න මී හරකෙක් හා අසරණ වෙච්ච අයට ආදාර ඉල්ලන පෝස්ට් ඇතුලේ  ගස් බලු කමන්ට් දැම්ම මී හරකෙකුත් දැක්කා...මතක් උනේ මෙච්චරයි "වන සියුපාවුන් වැනි මිනිසුන් මැද දෙවි දේවතාවුන් වැනි මිනිසුන් ඇත" කියලා විතරයි....




ඉතින් කවදාවත් නොදුටුව දෙයියන්ටවත් කරන්න බැරි වෙච්ච රටේ එකමුතුව සොබා හරි අපුරැවට එක්සේසත් කලා....ජාතී,ආගම්,කුල වත්පොහොසත්කම් ඔක්කොම ගං වතුරට යට වෙලා මිය යද්දී මනුස්සකම ගොඩට ආවේ මහා අපුරැවට කියලා අපි හැබැහින් දැක්කා...ඒත් ගංවතුර බහිනවා.....ඒ එක්කම මනුස්සකමත් බැහැලා යයි කියලයි මට බය... අපි මතක තියා ගන්න ඕනේ තාම අපේ යුතුකම් ඉවර නෑ... අපේ උන් ,අවතැන් වෙච්ච මිනිස්සුන්ගේ හයියට ඉන්න ඕනේ ඒ මිනිස්සුන්ගේ ජීවිත පිළිවෙලක් වෙනකම්ම......මොන රටින් උදව් ලැබුනත්  අපේ උන්ගේ හයිය ඕනේ ඒ මිනිස්සුන්ට ආයෙමත් කලින් වගේ නැගී සිටින්න...
       ඉතින්,
       හෙට දවසේ කරන්නට ඉතිරි බොහෝමයක් දේ උන් වෙනුවෙන් ඉටු කරන්නට එකතු වී අත් වැල් බැද ගමු !!!!
               
     

Sunday, May 8, 2016

96.මට හමු වු ප්‍රේමය



ප්‍රේමය කියන්නේ කවදාවත් අර්ථ කතනයක් දීලා ඉවර කරන්න බැරි මාතෘකාවක් නිකන් ඉන්න වෙලේ 
ප්‍රේමය ගැන හිතුනු දෑ ටිකක් ලිව්වා ඒ සේරම එක තැනක ගොනු කරා..කියවන හැමෝටම ආරාධනා කරනවා හැකි නම් අකුරැ දෙකක් මේ ඉට්ටැයිල් එකට ගලපලා අදහස් බෙදා ගන්න කියලා



හිරුට පෙම් බැඳ
පුළුස්සාගත්
ෆීනික්ස් කුරුළු තටුවකී
ප්‍රේමය........

දැවෙන කතරට 
පීපාසිත පොලොවට
වැටෙන  වැහි පොදකී
ප්‍රේමය....

පණ අදින හිතකට
කඳුළු ගඟකට
මුල පිරැව හේතුවකී
 ප්‍රේමය.....

සිනහවකට ලොබ බැද
උබ විලිස්සපු  දතකට 
හදවත පසාරු වීමකි
 ප්‍රේමය.....

දරඳඬු ගල් තලාවක වුව
බීජයක් කටෝර දුක් විඳ
මුල් ඇඳීමකී
ප්‍රේමය.....

පදනම් විරහිත කඳුළු,
දහසකුත් ඉසිළුම්,
භාවනාවක් මෙන් සියුම් දැරීමකි
ප්‍රේමය........

 කියන්නට බොහෝ දේ
ඇති තැනක
මුණිවත රැකිමකි
ප්‍රේමය...

නොලැබෙන බව
දැන දැනත්
රැක ගැනීමකි
ප්‍රේමය...

දඩබ්බරකම්
මුලින් උපුටා 
දැමීමකී
ප්‍රේමය...

කවියකට නගන්නට
බැරි හැඟීමක්
කඳුළු කැටයක් වී
නෙතගින් ගිලිහීමකි
ප්‍රේමය....



Sunday, May 1, 2016

95.ගබ්සාව

ගබ්සාව යන වචනය ඇසෙත්ම අපිට සිහි වනුයේ කුසෙහි අනාරාධිත ලෙස හට ගත් කළලයක් අමානුෂික ලෙස විනාශ කිරිමය එහෙත් ගබ්සාව ආකාර දෙකකින් හැදින්විය හැකිය..
     එනම්,
             (1)නිතැත් ගබ්සාව(Spontaneous Abortion)                  
              (2) ප්‍රේරිත ගබ්සාව (Induced Abortion )

,1,
නිතැත් ගබ්සාව(Spontaneous Abortion)                  
                එහිදි සිදු වන්නේ ස්වාභාවිකවම කළලය හෝ බිළින්දා ගර්භාෂයෙන් පිටතට පැමිණිමය නිතැත් ගබ්සාවකදී බොහෝ විට දැකිය හැකි පොදු ලක්ෂනයක් වනුයේ මාසික ඔපස් වීමකදී මෙන් යටි උදරය වේදනාව තරයේ දැනීම හා ඔපස් වීමේ අන්තිම දවස රැධිර වහනය වන ලෙස රැධීරය වහනය වීම නොනැවති එක දිගටම පැවතීමය

,2,
ප්‍රේරිත ගබ්සාව (Induced Abortion )                
                          මෙහිදි බාහිර බලපෑමක් මගින් කළලය ගර්භාෂයෙන් ඉවත් කිරීම සිදු කෙරේ, මෙය ඉතාමත් අවදානම් පියවරක් බවත් දිගු කාලින ශාරිරීක ගැටළු ඇති වීමේ අවධානම ඇති බවත්, එක් වර්ෂයකට   ප්‍රේරිත ගබ්සාව (Induced Abortion ) නිසා 47000 මරණ සහ මිලියන 5ක් පමණ රෝහල් ගත කරන බවත් ලෝක සෞඛය සංවිධානය පවසා ඇත


ගබ්සා ක්‍රමවේදයන් 

              ලෝකයේ බොහෝ රට වල ඉතාමත් ප්‍රචලිත ගබ්සා ක්‍රමය වශයෙන් භාවිතා වන්නේ ඔසප් චක්‍රය ක්‍රමවත් කිරීමේ ක්‍රමයයි. (Menstrual Regulation) 
                       ඔසප් චක්‍ර ක්‍රමය යනු සිරින්ජරයක් මගින් ගර්භාෂයට කිසියම් රසායනික දියරයක් ඇතුලු කොට ඉතා කුඩා කලලය විනාශ කිරීමයි ඉන්පසු එම විනාශ වු කලලයේ කොටස් දූවිලි ඇද ගන්නා වැනි උපකරණයක් (Vaccum) මාර්ගයෙන් ඉවත් කරනු ලැබේ           

                   ගබ්සාවක් සිදුකරන තවත් ප්‍රකට ක්‍රමයක් වන්නේ ශල්‍යකර්මයක් මාර්ගයෙන් කලලය ඉවත් කිරීමයි.ඊට අමතරව R.U.486 නම් වු ගිලින පෙති මගින්ද සංවර්ධිත රටවල ගබ්සාව සිදුකෙරේ


         ඉහත ක්‍රමවලට අමතරව ගබ්සාව කිරීම සඳහා භාවිතා කරන අනියම් ඖෂධ වර්ග බොහොමයක්ද අද වෙළදපොලේ රහසිගතව ව්‍යාප්ත වෙමින් පවතී
          ඇලපති , හෝමියෝපති, යුනානි, ආයුර්වේද, ආදි වෛද්‍ය ක්‍රමවල දක්නට ලැබෙන ඖෂධ වර්ග කීපයකි මේවා බොහෝ දුරට සංවර්ධනය 
වෙමින් පවතින රටවල ගබ්සාව සදහා යොදාගනු දක්නට ලැබෙයි මේ නිසා ගබ්සාවට ලක් වන කාන්තාවන්ගේ ශාරීරික මෙන්ම මානසික 
සෞඛ්‍ය සම්බන්ධ ගැටලු මතුවිය හැකි අතර එමගින් ජීවිතය පවා අවදානම් තත්වයකට පත්විය හැක ගබ්සාව සඳහා මෙම ක්‍රමවලට අමතරව සාම්ප්‍රදායික හා නොදියුණු ක්‍රම ලෙස සැළකෙන එඬරැ නැටි භාවිතා කිරීම, අමු අන්නාසි ආහාරයට ගැනීම,විශේෂ සම්බාහන ක්‍රම වැනි ක්‍රම තවමත් ඇතැම් ග්‍රාමීය මෙන්ම නාගරික කාන්තාවන් අතරද කලාතුරකින් භාවිතා වන බව වාර්තා වේ

ලෝකයේ අද වන විට අනාරාධිත ගැබ් ගැනීම් අති බහුතරයක් ගබ්සා වලින් අවසන් වන බව විද්වතුන්ගේ මතයයි,අනිසි ගැබ් ගැනීම් සදහා බලපාන හේතු කිහිපයකි

1,ක්‍රමවත් පවුල් සැලසුම් ක්‍රමයන් අනුගමනය නොකිරිම

2, දරැ ගැබ පිහිටන අවස්තාවේ අපේක්ෂා කලද පසු කාලයේදී ආර්ඵික සමාජීය හා යම් යම් සෞඛය ගැටළු නිසා ගබ්සා වලට යොමුවේ

3, අනපේක්ෂිත ගැබ් ගැනීම්(තවත් දරැවෙක් සිටී නම් ඔහු අගතියට පත් වේ යැයි සිතුවිල්ලෙන් ගබ්සා කිරීමට යොමු වීම

ගබ්සාව පිළිබඳ ගැටලු සැලකීමේදි අවධානයට යොමුවු ප්‍රධානම හේතුව නම් පවුල් සැලසුම් ක්‍රමවල පවතින දුර්වලතාවයන්ය විශේෂයෙන්ම සාම්ප්‍රදායික පවුල් සැලසුම් ක්‍රම පිළිබඳව විශ්වාසයක් තැබිය හැකි නොවේ එහෙත් ලංකාව වැනි බොහෝ රටවල කාන්තාවන් අතර විශ්වාසය තැබිය හැකි නවීන පවුල් සැලසුම් ක්‍රම වලට වඩා සාම්ප්‍රදායික ක්‍රම ප්‍රචලිතව පැවතීම ගබ්සාව පිළිබඳ ප්‍රශ්නය උග්‍ර වීමට හේතු වි ඇත විවිධ රටවල ගබ්සාව පිළිබඳ තත්වය
සංස්කරණය බොහෝ රටවල පවතින සමාජ , ආර්ථික විවිධතාවය පදනම් කොටගෙන වාර්ෂිකව ගබ්සාව සඳහා යොමු වන ප්‍රතිශතයේ වෙනස්කම් පවතින අතර සමහර රටවල සාඵල්‍යතාව අඩු කිරීමෙහි ලා ගබ්සාව ඉතා අඩු බලපෑමක් කරන සාධකයක් බවට පත් වි ඇත ලෝකයේ ඇතැම් රටවල ගබ්සාව නීත්‍යානුකුල කර ඇති අතරම තවත් සමහර රටවල යම් යම් කොන්දේසි යටතේ නිතිගත කර ඇත. එහෙත් ලංකාව ඇතුලු ඇතැම් රටවල එය නෛතික වරදක් බවට පත්කර දඩුවම් නියම කර ඇත

            * ඉන්දියාවේ ගබ්සාව නීනිගත කර ඇතත් එය සිදුකළ හැක්කේ ගැබට සති 20ක් ඉකුත් වීමට පෙරය
             
             * බංග්ලාදේශයේ ගැබට සති 10ක් ඉකුත් වීමට පෙර එය කරවා ගැනීමට නීතියෙන් බාධාවක් නැත
      
              * තායිලන්තයේ ගබ්සාවක් කර හැක්කේ එය ව්‍යභිචාරය,දූෂණය ,හෝ මවගේ ජිවිතය බේරාගැනීමේ අරමුණින් පමණි
                    
               * ශ්‍රී ලංකාවේ තවමත් බලපැවැත්වෙන 1883 දණ්ඩ නීති සංග්‍රහයේ 303 වන අනු වගන්තිය යටතේ ගබ්සාවක් කළ හැක්කේ මවගේ ජීවිතය එයින් අවදානමට ලක් වේ නම් පමණි 
           තත්වය මෙසේ වුවද ඉහත දැක්වු හේතු මත ලෝකයේ අනීතිකව සිදුවන ගබ්සා ප්‍රමාණය දිනෙන් දිනම ඉහළ යමින් පවතී සදාචාරමය හා ආගමික වශයෙන් යම් යම් සිමාවන් යටතේ ගබ්සාව සිදුකිරිමෙහි ප්‍රවණතාව අඩු වී ඇති අතර එයට වෛද්‍යවරයෙකුගේ මැදිහත් වීමක් අවශ්‍ය වන නිසා එවැන්නකින් වැළකී සිටීමට බොහෝ අයගේ නැඹුරැවක්ද පවතියි එහෙත් අක්‍රමවත්ව සිදුවන ගබ්සා කිරිම් හේතුවෙන් සිදුවන අනතුරැ ප්‍රමාණය ඉහළයෑමටද එම හේතුම ඉවහල් වි ඇත


ලියන්න තරම් හයියක් තිබ්බ ලිපියක් නෙවේ ලිව්වේ... මහන්සියක් ගත්තේ ගූගලයෙන් හොයා ගත්ත කරැණු  එක තැනක ගොනු කරන්න...දැනුමට කාටම හරි ප්‍රයෝජන වුනා නම්  සතුටක් ...මේ ලිපිය ලිය වුන කරැණ කවියේ ඇති ....

බෝ රුකක බර බැන්ඳ 
පැතුම් මල් පූදිනකොට රහසේම 
හැර ගිය කරුණ උහුලමී
පපු කැහුත පලා ලුණු දැමු ලෙසකට

පෙරුම් පුරා සපැමිණි නුඹ
හදවත ගැහෙන්නට මත්තෙන්ම
නික්මයැම'ම හදවතේ කුටීර සිදුරැ කල 
ගැඹුරැ හැඟුමකි පැහැදිය නොහැකී


අම්මෙක් වෙන්න දැකපු හීනෙම
සෙනෙහසක් දැනුන තරම'ම
කඳුලකින් ගිලිහුනා නිතැත් ලෙසකට
දෙමසකට ඉහතදී රුධිර කැටයක්ව

         දරැවෙක් කුසට එන්න වාසනා ගුණයක් තියෙන්න ඕනා එහෙම කුසට ආ දරැවෙක් මිය පරලොව යවන්න කිසිම කෙනෙකුට සිත් නොඉපදේවා යැයි පතමී!!!

Monday, April 25, 2016

94.මළත් කමක් නෑ මලක් අරන් මම.. නාගදීපේ ආවා




යුද්දේ පටන් ගද්දි මම ඉපදිල හිටියේ නෑ ඒත් තාත්තා පොලිසියේ රාජකාරි කල නිසා දන්න කාලේ ඉදන් යුද්දේ ගැන අහන්න ලැබුනා,ඒත් යුද්දේ දැන් ඉවරයි අපේ මිනිස්සුන්ට යුද්දයක් තිබ්බදවත් මතක නෑ කොහොම නමුත් ටික කාලෙකින් හැමදේම අමතක කරන්න ලංකාවේ මිනිස්සු හරි රුසියෝ.
                      වෙඩි සද්දෙට අකුරැ ඇද වෙච්ච සරෝජලාට ශිවාලට විතරක් නෙවේ, කමනිලා රමනිලත් මායිම් ගම්මාන වල ඉදලා  එක වගේ ඒ හැගීම් වින්ද කාලයක් තිබ්බා උතුරට ගිනි ඇවිලෙද්දී දකුණේ මිනිස්සු උතුරේ මිනිස්සු වෙනුවෙන් පල්ලී,පන්සල් කෝවිල් වැන්ද "දීපාවලී දාට දීපාවලී සඳ අරන් මාතර ගෙදර එන්න යාපා පටුන පහුකරන් "කිව්ව කාලෙකුත් තිබ්බා,මම දැන් හිතන්නේ මිනිස්සුන්ට මේවා අමතක වුනේ කොහොමද කියලා මේ දේවල් හිතා මතා අමතක කලාද කියලා....
                       මම මායිම් ගමක නොහිටියට යුද්දේ ආදීනව ඒ දවස් වල මුළු රටටම බෙදුනා..මේ මගේ මතක බිදක්.....
         ඒ දවස් වල මගේ තාත්තා පොලිසියෙන් අයින් වෙලා 89යේ විතර කොළඹ ලංකා බැංකුවේ වැඩට යන කාලේ ආයේ ගෙදර එයිද කියන එක විශ්වාස කරන්න බැරි කාලයක් වුනා... 1997 World Trade Centre  බෝම්බේ පුපුරද්දි තාත්තා වැඩ කලේ ලංකා බැංකුවේ අපිට ඒ බව ආරංචි උනාට දැන් වගේ ජංගම දුරකතන තියා ගෙදර දුරකතනයක්වත් තිබ්බේ නෑ තාත්තට කොහොමද අහන්න .. මට එතකොට අවුරැදු 9යි අක්කට අවුරැදු 13 අම්මා අපිව එක්කගෙන ගිහින් අල්ලපු  ගෙදර තියලා  හන්දියට ගියා ගෙවල් ලග අක්කා කෙනෙක් එක්ක බැංකුවට කෝල් කරන්න ඒත්  බැංකුවේ දුරකතන එකක් වැඩ කරලා තිබ්බේ නෑ එදා අපි හිතුවෙම අපේ තාත්තා අපිට නැති වුනා කියලා එදා ගමේ ගොඩක් අය අපේ ගෙදරට ඇවිත් හිටියා, තාත්තා රෑපවාහිනියේ ලිෆ්ට් වල හිර වෙච්ච අයව බේර ගන්නවා ගමේ කෙනෙක් දැකලා කිව්වම තමා දහ පාරට වඩා කලන්තේ දැම්ම අම්මගේ හිත පොඩ්ඩක් සන්සුන් වුනේ... එදා රෑ ගමේ හැමෝම අපේ ගෙදර තාත්තා එනකම් හිටියා තාත්තා රෑ 11 පහු වෙලා අත බැන්ඩේජ් කරන් මුණට ප්ලාස්ටර් දාගෙන ආවා...   බෝම්බේ පුපුරනකොට තාත්තා ඉදලා තියෙන්නේ කැන්ටිමේ ඒ පුපුරන පීඩනේට කඩන් වැටුන වීදුරැ වලට තමා තාත්තා තුවාල වෙලා තිබ්බේ...තාත්තා විතරක් නෙවේ ගොඩක් අය ඒ වීදුරැ කෑලි වලට තුවාල වෙලා තිබ්බා සමහරැ වීදුරැ කඩන් වැටෙද්දි උඩ බලන්න ගිහින් ඇස් අන්ධ වෙච්ච අයත් සැහෙන්න ඉදලා..එදා තාත්තා ගොඩක් මළ කදන් වලට කර ගහලා තිබුනා. ඒ මුස්පේන්තු දවස් අදත් මගේ හිතට බයක් එකතු කරනවා..ඊට පස්සේ තාත්තා කොළඹ ගියේ මෝටර් බයික් එකෙන් බස් වල බෝම්බ තියෙයි කියන බයට...
            2004 අපි මඩු පල්ලී ගිය වෙලේ දැනුනා යුද්දේ හින්දා අපි කොච්චර හිර වෙච්ච ජාතියක් වෙලාද කියලා, හමුදාවෙන් චෙක් කරලා නික්මිලා කිලෝමීටර් ගානකින් කොටි පාලනයට යටත් වෙද්දී ජීවිතේ අත ඇරලමයි අපි ගියේ කියලා හිතුනා. ඒ ගමන කොටි කටට ගියා වගේ මඩු පල්ලිය වැද පුදා ගත්තා වුනාට ඒ පාලනයට අපි යටත් කියලා දැනුනා, මඩු පල්ලිය ලග රෑ 9 වෙද්දි ලයිට් නිවලා දානවා මුළු පලාතෙම අපි පත්තු කරන ඉටි පන්දමක්,ලැන්තෑරැමක් ඇරැනු කොට හතර අතේම තිත්ත කළුවර ගිලලා,පාන්දරට නරි කෑ ගහනවා ලාවට ඇහෙන වෙඩි සද්දේ වල් ඌරැ දඩයමට කියලා තාත්තා කිව්වාට අපි සැනහුනා විතරයි ඒත් හිතේ තිබ්බ බය වෙනස් වුනේ නෑ..මායිම් ගම්මාන වල මිනිස්සු,යුද්දේට මැදි වෙලා කොච්චර විදින්න ඇද්ද කියලා අදටත් හිතෙනවා මම වින්ද බය ඒ මිනිස්සු වින්ද බය,වේදනාව දිහා බලද්දී දුවිල්ලක් තරම්වත් නෑ ඒ නිසා ඒ අය එක්ක මගේ අත්දැකීම් සම කරලා ඒ අයට අසාධාරණයක් කරන්න මම කැමති නෑ
                      2006 අන්තිමෙට යුද්දේ තදින් තියෙද්දි මුහුදු කොටි සිසීකඩ යද්දී ඩිංගි බෝට්ටු කිපයකින් වෙන්නප්පුව -මීගමුව මුහුදු තීරය පැත්තට ආවා කියන රාවෙට ගමේ මිනිස්සු හරි විපරමෙන් මරණ බයෙන් හිටිය කාලෙකුත් තිබ්බා,ඒ හැමදේම මට අකුරක් නෑර අදටත් මතකයි
                       

            ඒ ස්වර්ණමය අවුරැද්ද 2009 යුද්දේ සදහටම නතර කරන්න  අපේ හමුදා සෙබළුන්ට ලේ විලක් මැදින් ගිහින් හරි පුළුවන් වුනා... ඒ කාලේ කොන්ද පන තිබ්බ මහින්ද කියන ඒ උත්තම පුරැෂ නාම පදය තිබ්බා සමහරැ වවන් කාපු යුද්දේ ඉවරටම ඉවර වුන ලංකාවකට උරැමකම් කියන්න අපි වාසනාවන්ත වුනා (මහින්ද රාජපක්ෂ කරපු වැරදි අනුමත කරන්න කියන් නෑ මං ,මම පාට පක්ෂ බේදයකින් තොරයි.. හොද මනුස්සයට හොදයි කියනවා..ඉතින් යුද්දේ ඉවර කරපු ගෞරවේ හැම සෙබලෙකුටම වගේම මෙතුමා අතරත් බෙදෙන්න ඕනා,මොකද    ත්‍රිවිද හමුදාව හා පාලකයෝ අතර දම් වැලක් වගේ බැදීමක් තිබුන නිසයි යුද්දේ දින්නේ කියන දේ අපි අමතක කරන්න හොද නෑ කියන මතේ මම ඉන්නවා)    
                      
                       අපි වාසනාවන්තයි යුද්දේ දැන් ඉවරයි, ඒත් යුද්දේ අමතක කරන්න එපා යුද්දේ කෲර සලකුණු අපි අතර තාමත් තියෙනවා, අබාධිත සෙබළු ඉන්න කෑම්ප් එකකට ගිහින් බලන්න ඒ හැම සෙබලෙක්ටම කියන්න කතාවක් තියෙයි,  අදටත් සාලේ මැද එල්ලලා තියෙන තමන්ගේ පුතාගේ පින්තූරෙට  මල් තියලා වදින අම්මලා,  ස්වාමිපුරැෂයා අහිමි වෙචච ළමයින් එක්ක තනි වුන අම්මලා, තාත්තා නැති දරැවෝ ඕන තරම් ඉන්නවා.. දිනා ගත්ත රට රකින්න තල් කොල කැම්ප් ඇතුලේ අවුවට කරකුට්ටන් වෙන මාසෙට දවස් දහයක් ගෙදර එන කොල්ලෝ තවමත් ඉන්නවා ඒ හින්දා කවදාවත් යුද්දයක් නොතිබ්බ ගානට මැරිලා ඉපදුනා වගේ ජීවත් වෙන්න එපා....


මේ විදිහට මතක වෙච්ච දේවල් ලිව්වේ මේ ගීතය අහම්බෙන් ඇහුන නිසා ,

දැවී තැවූ සිත් නිවී පහන් වන...
දිනක් උදා වූවා...
කලක් සිතේ තිවූ සියුම් දොලක් ගැන
මතක අලුත් වුවා...
සඳක් නැගී තල් වැට ඉහලින් වෙඩි
හඩක් ඇසෙන් නැතුවා....
මළත් කමක් නෑ මලක් අරන් මම..
නාගදීපේ ආවා.....

නාගදීපයටඉහල අහස් කුස..
රන් වන් පැහැය ගනී...
එදා දෙසූ දම් මෙදා වගේමයි ...
තාමත් සුවඳ දැනේ...
දැවී තැවූ සිත් නිවී පහන් වන...
දිනක් උදා වූවා...
කලක් සිතේ තිවූ සියුම් දොලක් ගැන
මතක අලුත් වුවා...
සඳක් නැගී තල් වැට ඉහලින් ...
වෙඩි හඩක් ඇසෙන්නැතුවා....
මළත් කමක් නෑ මලක් අරන් මම..
නාගදීපේ ආවා.....

පරෙවි තටුවකින් සිසිල් පැන් දොවා..
සුදු මල් ගෙන ආවා...
අනේ හිමියනේ සාඳු නාද මිස..
වෙඩි හඬ නොඇසේවා......
දැවී තැවූ සිත් නිවී පහන් වන...
දිනක් උදා වූවා...
කලක් සිතේ තිවූ සියුම් දොලක් ගැන
මතක අලුත් වුවා...
සඳක් නැගී තල් වැට ඉහලින් ...
වෙඩි හඩක් ඇසෙන්නැතුවා....
මළත් කමක් නෑ මලක් අරන් මම..
නාගදීපේ ආවා


       තදින්ම හිතට කා වැදුනේ "මළත් කමක් නෑ මලක් අරන් මම නාගදීපේ ආවා " නාගදීපේ යන්න අපිට දැන් බයක් නෑ වෙඩි හඬ වෙනුවට උතුරේ හතර අතින් ඇසෙන්නේ කෝවිල් සීනු නද, සාදු නද ,පල්ලියේ ඝන්ටාර නද විතරයි  ඉතින් පතමු වෙඩි හඬක් ආයේ කවදාවත් ලංකාවේ කිසිම විදිහකින් ‍ නොඇසෙන්න.....

Wednesday, April 20, 2016

93.කවියෝ කියන්නේ අපුරැ ජීවීයෝ ජාතියක්


             කවියෙක්ට පුළුවන් බොහෝ දේවල් බොහෝ විට වෙනස් කරන්න,හැබැයි කවියක් වගේ හිතක් තියෙන කවිකාරයෝ ඉන්නේ බොහොම අල්පයයි.....කවියෝ කියන්නේ යටි හිතේ තියෙන දේවල් සමාජ ගත කරලා.. දුක නිවා ගන්න ,දුක නිවන... අඩන්න බැරි කදුළු අරන් අකුරැ ගලපන ,තව කෙනෙකුගේ පපු කැහුතු සුරලා පාරවලා පරණ තුවාල අලුත් කරන, විටක ඒ තුවාලම සජිකල් ස්ප්‍රීන්තුවලින් පිසලන අපුරැ ජීවියෝ ජාතියක් ;)


කවියෙක්ට පුළුවන්,
හුදකලා වී හිතේ ඇති දුක
මුහුදු රළ අස්සේ සගවන්න.....
හීන් කෙදිරිලි හඬින් 
හිත අඬවන්න-ගලවන්න-නලවන්න......

මැරෙන ,උපදින රළ පහරවල් වල
පෙන සුඳට විරිත්තා හිනැහෙන්න....
මුහුදු සුළගේ හාදු තවරා
ලෝකයේ එහා කොනකට හරවන්න......

ප්‍රේමයේ පරණ වන කැලැල් වුව
හීනියට ආයෙමත්
පාරන්න.......
ඇනුන පිහි තුඩ පහරවල්
පිරිත් පැන් ඉස 
සනහන්න.....

ඒ මහා කවියා 
ලියු කවියෙම 
අකුරු ගලවා-අවුළුවා
ප්‍රේමයේ චිතකය දල්වන්න.....

     කවියෙක්ට තව පුළුවන් දේ ලියලා යන්න...

Monday, April 11, 2016

92. සරලව ආදරේ පිස්සුවක් තොප්පිය හරි අයට



සරලව ආදරේ පිස්සුවක් 
__________________
    "අපි ආදරේ කරන මිනිස්සු අපිට ආදරේද?" ඔන්න ඔය ප්‍රශ්ණෙදි මම නම් හිර වෙනවා...ඇත්තටම මේ ප්‍රශ්ණේ පට්ට සංකීර්ණයි.මට මං ගැන කියන්න පුළුවන් ඒත් මම තව කෙනෙක් ගැන කොහොම කියන්නද? මොකද මිනිස්සු බොහෝමයක් අවස්ථාවට උචිත විදිහට වෙනස් වෙනවා.....සරලව ආදරේ මං දකින්නේ එක්තරා පිස්සුවක් විදිහට.......(දැන් ඔය ලව් කරන අය මට නෙලන්න ලැස්තී වෙන්න එපා) මමත් ඔය පිස්සුවේ පංගුකාරියක්........ රයිට්.....ආදරේ පිස්සුවක් ඔව්....අපුරුවට අත,පය හතර විසික් කරලා නිදහසේ හිටපු උන් ආදරේ කරන්න පටන් ගත්තම මොකෝ වෙන්නේ  ආදරේ කියන බිත්ති හතරට කොටු වෙනවා....ලෝකය ගැන වගක් නැති වෙනවා.......කන බොන එක මිස් කරනවා.....පැය 24රම  හිතින් හීන මවනවා......තමන්ගේ ප්‍රේම වන්තයාගේ/වන්තියගේ  නීති රෙගුලාසි වලට යටත් වෙන්න වෙනවා රන්ඬු වෙනවා යාළු වෙනවා....... ඔය ආදරේ කියන කොටුව ඇතුලේ මිනිස්සු වෙච්ච අපි පිස්සන් කොටුවක මානසික රෝගියෙක් කරන පිස්සු වැඩ,බොලඳ වැඩ වෙලාවකට කරනවා ...ආදරේ හරිම මනෝභාවයක් එහෙම කිව්වේ කළු සුදු  අක්කා ලියලා තිබුන කවියක.......
         
       
තොප්පිය හරි අයට
_______________________

        "ලොකේ ගැලපෙන උන් නෑ ..ආදරේදි අපි ඒ සේරම ගලප ගන්න ඕනා, එකිනෙකාගේ අදහස් වලට ගරු කරන්න,තීරණ ගද්දි නැමෙන්න ඕන තැන නැමෙන්න,කෙලින් ඉදන් තීරණ ගන්න ඕන වෙලාවට තීරණ ගන්න හිතේ හයියක් නැත්තම් ආදරේ කරන්න එපා ඔයාට බැරි නම් විශ්වාසේ රකින්න ඒත් ආදරේ කරන්න එපා......මොකද කෙනෙක් මත තැබු විශ්වාසේ පුහු උනොත් අනිකගේ ඇහෙන් වැටෙන කඳුලට  ණය කාරයෙක්/කාරියක් වෙන්න වෙනවා.....තව දෙයක් තමන්ගේ හැගීම් පාලනයක්,අවස්ථාවාදි නොවිම  වගේ ගුණාංග හිස් මුදුනින් පිළි ගන්නේ නැත්තම් ආදරේ කරන්න එපා ......... මොකද කෙල්ලෙක් ගෑණියෙක් කරලා "ආන්න අරකි වටේ යනවා කියන්නේ" අපේම  සමාජෙම එකෙක් ඒකිගේ පතිවත නැති කරපු නිසාමයි....අන්න ඒ තත්වෙට වැටෙන්න එපා ........එදාට ලෝකෙන් ගැල උනත් හෘද සාක්ෂිය අපේ පසු පස්සේ පන්නනවා....අන්න එතනදි ගැණියෙක්ටවත් පිරිමියෙක්ටවත් ගැලවීමක් නෑ (සමාජයේ හොද කෙල්ලෝ /කොල්ලො ඉන්නවා මේ වැරදි කරන උන් වෙනුවෙන් ලියන්නේ)අනික් දේ තමා සංසර්ගය කියන්නේ අලුත් ජීවියෙක් මෙලොවට බිහි කරන   ක්‍රියාවලියට මිසක් ආදරේ තීරණය කරන ප්‍රධාන සාධකයට නෙවේ.... ඒකයි තිත්ත උනත් ඇත්ත.....,පන්ති කට් කරලා රෑම් වලට යන්න දගලන දුවලා පුතාලා ඒ ගැන දැනුවත් කරන එක සමාජයෙත් යම් වගකීමක්...
       අන්තිමෙට කියන්න ඕනේ එක් තරා ෆේස් බුක් ගිණුමක ලියලා තිබ්බා අන්තර්ජාලයේ තියෙන ලංකාවේ අසබ්බ්‍යය විඩියෝ දර්ශන වල බොහෝමයක් ඉන්නේ  තමන්ගේ පෙම්වතාට හැම දේටම වඩා ආදරය කරපු ගැණු දරැවෝ මිසක් pron ස්ටාර්ස්ලා නෙවේ කියලා...  ඉතින් හිතන්න ඔක්කොම කරලා අන්තීමෙට අපි පෘතග්ජන මිනිස්සු කියලා  හෙළුව වහ ගන්න තතනන ගැහැණුන්/පිරිමීන් නොවිය යුතුයි... නේද? ආදරේ කියන්නේ එක්තරා පිස්සුවක් ඒ පිස්සුවට පුළුවන් තව කෙනෙක්ගේ ජීවිතය ලස්සන කරන්න වගේම අපායක් කරන්න පුළුවන් දෙයක් කියලයි මට හිතෙන්නේ
        ඉතින්,
          මේ ආදරය මොකක්ද? දැනෙන දේ ලියලා යන්න මොකද ආදරේට නිර්වචනයක් දෙන්න පුළුවන් ආදරේ කරලා අත්දැකීම් තියෙන අයට හැබැයි පරස්පර විරෝධී නිර්වචන ලැබෙයි තමන් ලබන අත්දැකීම් එක්ක...

Sunday, April 3, 2016

91.ඉස්සර හිත



ගල් හිත....
බොල් කර .....
පල් වෙන්නට 
දමා ගිය  
එකෙක්........

පල් හිත 
ගල් කර....
මට'සිලුටුවට
සියුම්ව ඔපදමා
ආදරය නමින්
හැඩ කෙරු
තව එකෙක්.........

මේ ආදරය
හරි විජ්ජාවක්මැයි
තවමත් හිත
කොනිති ගසමින්
අතීතය වර්තමානය
අනාගතය කොනහන
මං......


Sunday, March 27, 2016

90.ශිවා 2




අපි පැය බාගෙකට විතර පස්සේ සර්වනා අන්නලාගේ ගෙදර ආවා ඒ වෙනකොට එයාලා කෑම කාලා හිටියේ ඒත් අපිට කන්න කියලා ඉට්ලි පංලුවක් ඉතිරි කරලා තිබුනා...අක්කා අපිට නිදන්න කාමරේ පෙන්නලා ඇදුමකුත් ටවල් දෙකකුත් ඇද උඩ තියලා පොඩි එකාව නිදි කරවන්න අරන් ගියා සර්වනා අන්නා,
"තමන්ගේ ගෙදර වගේ ඉන්න"කියලා මහා හයියෙන් කොක් හඩලලා හිනා වෙලා ශිවාට ඇහක් ගහලා නිදන්න යනවා කියලා ගියා

මෙලෝ හසරක් තේරැමක් බේරැමක් නැතුව මම ඇදේ කොනක වාඩි වෙලා හිටියා...ශිවා මගේ ලගින් වාඩි වෙලා ඔළුව අත ගෑවා...නලල හෙමිහිට ඉඹ ගත්තා ...

"මැණික"

"හ්ම්ම්"

"අපි ඇගපත සෝදන් ඇදුම් මාරැ කර ගමු දවල් ඉදන් එකම ඇදුමෙන්නේ"

මම ලැජ්ජාවට "හ්ම්" කිව්වා මිස වෙන උත්තරයක් දුන්නේ නෑ...

"මේ සිලි උරේ තියෙන්නේ මැණිකට ගත්ත සල්වාර් එක"ශිවා සිලි උරේ මට සික් කරා මම සිලි උරේ ඇරලා සල්වාර් එකේ හැඩ බලද්දී

ශිවා කමිසයේ බොත්තම් ලිහිල් කරලා ඇද පත්තේ දමලා තුවායත්,සරමත් අරන් ඇගට වතුර ටිකක් දා ගන්න ගියා...මම ඇ‍ද පත්තට ඔළුව තියන් කල්පනා කලේ මම ගෙදර අවුලලා ආව ගින්න නිසා අප්පච්චිත් අයියලත් වියරැවෙන් වෙඩි කාපු කොටි වගේ අපිව හොයනවා ඇති කියලයි..අම්මා ඇඩු කදුලින් මැරි මැරි ඉපදෙනවා ඇති කියලයි...නොදැනිම කඩන් වැටුන තුන් මුලස් කදුලක් දබර ඇගිල්ලක් දරා ගන්න ස්පර්ශයට මම තිගැස්සිලා ඇහැරැනා...

"මැණික ගිහින් එන්න"

මම ඔළුව වනලා ගියේ දවල් ඉදන් දාඩිය හපුටු ගද යනකම් නාගන්න...
මම කාමරේට ඇතුල් වෙද්දී ශිවා ආයෙමත් කතා කලා

"අපි දෙන්නම බඩ ගින්නේ ,යමු කන්න"කියලා

ශිවා ඇදෙන් නැගිට්ටා මමත් ශිවා පසු පස්සෙන් ගියා...අපි කෑම මේසෙන් ඉදගෙන භාජන වල තිබ්බ කෑම වහලා තිබ්බ පිගන් ඇරියා...මට කටට කෙල ඉනුවා බඩ ගිනි වැඩි කමටඒවයේ තිබ්බේ කිරි සුදුම සුදු ඉට්ලියි,බොර සාම්බාරැ හොද්දකුයි

මම ශිවා ලගින්ම ඇගේ ගෑවී නොගෑවී ඉද ගත්තා...ඒ වෙලාවේ මගේ හිතේ තිබ්බ දෙයක් ශිවාට කියන්න ලොකු ඕන කමක් තිබ්බා...

"ශිවා" මම එහෙම කකා කලේ රහසින්

" ඇයි මැණික"

"සර්වනා අන්නගේ බැල්මවල් මට අල්ලන් නෑ"

"ඉතින්,නොඅල්ලා ඉන්න" හිනා වෙන ගමන් ශිවා කිව්වා ,මම ශිවා දිහාවට නෝක්කාඩු බැල්මක් එලුවා....


"ඉට්ලී තරම් මිනිස්සු සුදුත් නෑ "කියලා 
     
        එයා ඉට්ලී දෙකක් පිගානට දා ගත්තා... ඊට පස්සේ සාම්බාරැ හොද්ද කලත්තලා රටාවකට ඉට්ලී උඩට වක්කර ගත්තා...මම ඒ දිහා බලන් හිටියේ හරි කැමැත්තෙන් 
ටික වෙලාවකින් එයා චිරි...චිරි ගාලා ඉට්ලී සාම්බාරැ එක්ක ඇනුවා හරියට පෙදරේරැවෙක් වගේ... මට එහෙම හිතිලා හිතින් හිනා ගියා

ඔන්න ටිකකින් ආයේ සාම්බාරැ හොදි වල තිබ්බ ගොරකා පිගානේ අයිනකින් තියලා

"ගොරකා තරම් මිනිස්සු කළුත් නෑ මැණික..." කියලා

පලවෙනි ඉට්ලී කට මට දික් කරා.....

මම හරිම රස ඉට්ලී කෑවේ එදා....

ශිවා ඉට්ලී දෙකම මට කවලා,එයත් කෑවා..පස්සේ අපි මේසේ අස් කරලා නිදන්න ආවා...ඒත් හිත දෙගිඩියාවෙන් තිබ්බේ,කොහොමද නොබැදපු මනුස්සයෙක් ලග නිදන්නේ කියලා...ඒත් මම මගේ පණ තරම් මේ මනුස්සයව විශ්වාස කරනවා...මම මටම කෙදුරැවා

ශිවා බිම නිදන්න යද්දී මං එයාව නවත්වලා මං ලග ඉන්න කියලා කිව්වා......ශිවා කොට්ටේ ඔළුව තිබ්බම මම එයාගේ අත දික් කරලා මැණික් කටුවත් අල්ලත් අතර ඔළුව තියා ගත්තා ...

"මැණික,අපි හෙට කොළඹ ගිහින් රෙජිස්ටරෙන් බදිමු"

"හ්ම්"

"ඊට පස්සේ හැමදාම ආදරෙන් ඉමු"

ඒ වචන ටික ඇහෙද්දී ශිවාගේ හුස්ම පහර මගේ වම් කන ලගින් ඉගිලිලා හීන් සීතලක් ගෙනාවා ඒ එක්කම වෙඩි සද්දෙකට ගැස්සිලා ඇහැරැනා......
*************************************
"ආ මනමාලී , නැගිටිනවා...අන්න අන්දන කෙනා ඇවිත්"ඒ පුංචම්මාගේ දුවය,

දෙයියනේ ඒක හීනයක්,මම මටම කියා ගත්තා,

මම අව සිහියෙන් හිටිය බව මතකයි... එක එකාගේ පෙරැත්ත කිරිල්ලට ලක ලැස්ති වුනා...සුදුම සුදු මල් කලඹකුත් අතෙන් අරන් පෝරැවේ චාරිත්‍ර වලට සහභාගි වුනා...මනමාලයා වුනේ සුමේද ,ලොක් අයියගේ කොළඹ යාළුවෙක්...ඒත් ශිවා... මම හුස්ම ඉහල පහල කරන ගමන් හිල්ලුවා.... නැදෑ හිත මිතුරන් එක්ක ගෙවුන මගුල් දවසේ අවසාන චාරිත්‍රය ගෙදර හැමෝටම වැදලා අවසර අරන් සුමේද එක්ක කොළඹ යන්න තිබුන වෙලාවේ මම වැලහින්නක් වගේ අඩනවා දැකලා ලොක් අයියා ලගට ඇවිත් කාටත් නොතේරෙන්න කනට කරලා

"උඹ නවත්තන් නැද්ද ඕක"

මං ඇඩුවේ "අනේ ලොකු අයියේ " "බුදු ලොකු අයියේ"කියලා

මගුලට ආව කවුරැත් කතා ක‍ලේ අයියගෙය් නංගිගෙයි සහෝදර බැදීම ගැන කියලලු,අම්මා මගුලට සති කීපයකට පස්සේ කිව්වා ඒත් මං ඇඩුවේ ශිවා ගැන කියලා බව කවුරැත් දැනන් හිටියේ නෑ....

**********************************
   මමයි සුමේදයි කොළඹ ආවා.. සුමේද එක්ක ජිවිතේ අවුල් කරන් ගෙදර යන්න සිද්ධ වෙන වැඩම කලත් සුමේදගේ ඉවසීම මාව වෙනස් කලා....ඒකට සුමේදට මං වෙනුවෙන් අවුරැදු තුනකට වඩා බලං ඉන්න වුනා...අම්මලා වවුනියා ඉදන් මාව බලන්න ආවත් මම ගෙදර ගියේ කලාතුරකින්...ඒකට අම්මා නෝක්කාඩු උනාට අයියලා කිව්වේ සුමේද දාලා එන්න බැරි කමට මං ගෙදර නොඑනවා කියලා...සුමේද එක්ක මම ආදරෙන් බව ගෙදර අයට ඇගෙව්වට අපි අතර කිසිම සම්බන්දකමක් තිබ්බේ නෑ....ඒත් සුමේද මාව ඉවසා දරා ගන්න,ගන්න මගේ ජිවිතේ කතා එයා ඉස්සරහ ලිහන්න මට ඕන වුනා....අවුරැදු 3 ක් ගියත් කිසිම විදිහකට ශිවා ගැන ආරංචියක් ලැබුනේ නෑ...අඩුම ගානේ මාව හොයන් එන්න හරි මං ශිවා එක්ක පැනලා යනවා.....මම එහෙම හිතලා හුල්ලලා මැරි,මැරි ඉපදුනා....
        *************************
      එදා පෝය දවසක් සුමේද තනියම සිල් ගන්න පන්සල් ගිහින් ආවේ වෙනද මුනෙන් නෙවේ කියලා දැනෙන්න මට ගොඩක් වෙලා ගියේ නෑ....හවස හදලා ඔෆිස් මේසයේ තිබ්බ තේ කෝප්පයේ තේ ඇල් වෙලා තිබ්බා....සුමේද මිදුලේ බංකුවේ බර කල්පනාවක හිටියා..

අපි අතර බැදීමක් නැති උනත් මං එයාගේ වයිෆ් විදිහට හැම යුතුකමක්ම ඉටු කලා ... ඉතින් මාත් මිදුලට ගිහින් සුමේදට ටිකක් දුරින් ඉද ගත්තා

"අසනීපයක්ද? ආව වෙලේ ඉදන් වෙනස්"
"නැහෑ"ඒ වචන වෙව්ලන ගතියෙන් කිව්වේ

"හ්ම්"

මම හෙමින් එතනින් නැගිටලා යන්න හදනකොට එතෙක් මෙතෙක් මගේ කෙස් ගහක්වත් නොල්ලපු සුමේද මගේ අතෙන් අල්ලන් සාලයේ මැදට ඇදන් ආවා

" මොකක්ද දෙයියනේ මේකේ තේරැම,මේ පින්තූර වලට විතරද අපි බැන්දේ... " සාලේ එල්ලලා තිබ්බ මගුල් පින්තුරෑ පෙන්නලා ඇහැව්වේ ඒ ඇස් වල කදුළුත් පුරෝගෙන

හිතේ වේදනාවත්,තදින් අල්ලන් ඉන්න අතේ වේදනාවත් එක්ක මගේ ඇස් වලින් කදුළු පැන්නා...සුමේද අත අතැරලා ඔෆිස් කාමරෙන් අරන් ආව ලියකියවිලි ගොන්නක් මට දික් කරා...

"මට තවත් මේ දේවල් දරන්න බෑ චාරැ,මේ තියෙන්නේ මගේ හැම සතයක්ම ඔයාගේ නමට ලියපු පේපර් ටිකයි,දික්කසාද පේපරැයි,ඔයා දැන් හුල්ලන්න ඕනේ නෑ... කැමති තැනකින් ජීවිතේ පටන් ගන්න පුළුවන්...මම පංසලට යන්න හිතුවා මට මේ හැම දේම තේරැමක් නැති වෙලා.මම ලොකු හාමුදුරැවෝ එක්ක කතා කරන් ආවා හැමදේම...මං දන්නවා ඔය හිතේ ඉන්න කෙනාගේ තැනට මට එන්න බෑ කියලා ඒත් අඩුම තරමේ ඒ කතාවවත් කියන්න"කියලා සුමෙද කාමරෙට ගියා

මම තක්කු මුක්කු වෙලා කෑ ගහලා ඇඩුවේ මගුල් දවසට පස්සේ අද..ඒත් මං අඩන්නේ සුමේද නිසාද?ශිවා නිසාද කියලා මං දන්නේ නෑ...පැය ගානක් අඩපු මාව ඉස්සරම දවසක සනසපු සුමේද අද නෑ...මේ මනුස්සයා මොකක් හරි කර ගනි කියලා හිතපු මම කාමරේට ගියා.ඇදේ ඉදගෙන නිහඩව අඩන ඇස් දැකපු මට සුමේදගේ කකුල් ලග වැටිලා සමාව ඉල්ලනවා ඇරෙන්න වෙන කරන්න දෙයක් තිබ්බේ නෑ.....මම 'ම
 "අපි ආයේ ජිවිතේ අලුතින් පටන් ගමු "කියලා 
         ඒ කකුල් දෙක අල්ලලා අඩද්දී ඒ පිරිමි රළු කදුළු මගේ උර හිසේ හැට්ටේ තෙමාගෙන කිදා බැ‍ස්සේ පපුවට කියලා දැනුනා...ඒ අපි ඇඩුව අන්තීම දවසම වුනා....
           සුමේදගේ ආදරේ මුළු ලෝකෙම කකුල් දෙක ලගට ගෙනත් දෙද්දී ශිවා නිසා අවුරැදු ගානක් වන වෙච්ච තුවාලය සනීප වෙලා ගියා... ඒත් ඒ ආදරේ හිතේ කොනක වැට බැදලා හිර කරලා දැම්මේ චුට්ටං බට්ටිත්තෙක් අපේ ලෝකෙට ආවට පස්සේ...පොඩ්ඩා නිසා සුමේදත් මාත් ආදරෙන් බැදෙන්න ගත්තා..අම්මගේ ඇවටිලී කිරිම එක්ක අපි පුතාට අවුරැදු දෙකක් වෙද්දී සතියකට විතර අවුරැද්දට වව්නියා යන්න තීරනේ කලා ..සුමේදගේ හිතේ තිබ්බේ බයක් මම ආයෙ වෙනස් වෙයි කියලා...ඒත් අතීතේ සිද්ද වෙච්ච කිසි දෙයක් සුමේද දැනන් හිටියේ නෑ... ඒ හැමදේම දැනන් හිටියේ ලොක් අයියයි,මමයි විතරයි...
**********************************
       අපි අවුරැදු නිවාඩුව අල්ලලා වව්නියා ගියා... ලොක් අයියා එක්ක අවුරැදු හතරක් නොක්කාඩු වෙලා කතා නොකරම අත ඇරලා තිබ්බා දැන් කියලත් ඒකෙ වෙනසක් තිබුනේ නෑ හිච්චි අයියයි,මද්දු අයියයි ඒ වෙනකොට බැදලා හිටියේ...එයාලා එක්ක නම් අමනාපයක් තිබ්බේ නෑ ඒත් මම නිහඩ චරිතයක් වුනා ...අම්මා පුතු අතින් අරින් නෑ ...අප්පච්චී වුනත් කොල්ලට හරියට ආදරේ කලා...ඒ නිසාම අම්මලා ලග පුතු තියලා මමයි සුමේදයි වව්නියා ටවුන් ආවා ටිකක් ඇවිදලා අම්මලාට මොනා හරි ගන්න...අපි කාර් එක පාර්ක් එකක දාලා ඇදුම් කඩ වල ඇවිද්දා...

හදිස්සියෙම අපි හිටිය කඩේට කඩන් වැදුන දෙමල මනුස්සයෙක් 

"එන් වුඩය පොන්ඩාඩි ඉන්ද වන්දිටයා"
(මගේ බිරිද ආවද මෙහෙට)

කියලා මගෙන් ඇහැව්වා...අතේ තිබ්බේ කිලුටු සල්වාරියක් දාපු සිලි බෑග් එකක්...

කඩේ අයිතිකාර මුදලාලී ඇවිත් 

"ඉල්ල ,,,ඉල්ල නී පෝ" කියද්දී ඒ මිනිහා අඩන ගමන් කිව්වේ  "නී පොයි සොල්ල අවන් වැරම්"(ඔයා බොරැ කියන්නේ එයා එයි)ඒ එක්කම 

" එන්ග පෝර ශිවා මහත්තයා ,වා...වා.."කියලා 

       කඩේ ඇතුලට ආපු මනුස්සයා පිස්සු මනුස්සයව කඩෙන් එලියට ඇදන් යන්න තැත් කරා මම එතනට ලං වුනේ මුත්තු කියලා කතා කරලා

"පුංචි නෝනා,මේ අපේ ශිවා මහත්තයා කෙල්ලෙක් බුට් තියලා තමා...ඒදි ඉදන් ඕම"

ඒ ඇස් ශිවාගේ......

"දෙයියනේ ශිවා"කියලා කියනවා මතකයි, එතනින් එහාට මට මිනිස් කට හඩක් ඇහුනේ කොයි වෙලේද කියන්න මං දැනන් හිටියේ නෑ...

ඇස් ඇරෙද්දී මම හිටියේ මගේ කාමරේ ඇදේ හාන්සි වෙලා ,ලග හිටියේ ඔළුවට අත තියන් මං දිහා බලාගෙන සුමේද....ඉස්තෝප්පුවෙන් ඇහෙන අප්පච්චිගෙයි අයියගෙයි කතා බහ.....

"පුතා"මම කෙදුරැවා

"අම්මා ලග චාරැ,ඔයාට දැන් කොහොමද"

   මෙච්චර දෙයක් වෙලත් එක වචනයක් නාහා මං ගැනම අහන මේ තරම් ආදරේ කරන මනුස්සයට හැමදේම කියලා හිත නිදහස් කර ගන්නවා ඇරෙන්න මට කරන්න ඕන දෙයක් තේරැන් නෑ....

"සුමේද මං මහා පව්කාරියෙක්" මං ඒ පපුවේ හෙව්වේ සමාවක්...

"ඒ දැක්කේ ශිවා... මං මහා ගොඩක් ආදරේ කරපු මනුස්සයා...මං හින්දා පිස්සෙක් වෙලා අවුරැදු හතරකට පස්සෙත් විදවනවා සුමේද"

         .....මං ඉකි බින්දේ හුස්ම හිර කරන්...සුමේද එකම ඉරියව්වෙන් මාව පපුවට ලං කරන් ඇහුම්කන් දුන්නා...

     "අපි අතින්වත් අල්ලන් නැතුව ආදරේ කලා ඒත් ලොක් අයියට අන්තිමෙට හැමදේම අහු වුනා...මං ඔයා නොබැන්දොත් වව්නියා ටවුන් එකේදි ශිවාව ගිනි තියලා මරනවා කියලා ලොක් අයියා තර්ජනේ කලා....ඒත් අන්තිමෙට ශිවා මගුල් දවසට,දවස් දෙකක් කලින් මට ලියුමක් සින්දමනි අතේ එව්වා ... මගුල් දාට ඉස්සරින්දා දවල්  පැනලා යන්න...එයා මට සල්වාරියක් ගත්තා ඒක ඇදන් අපි බදින්න යමු කියලා...ඒත් ලොක් අයියට ලියුම අහුවෙලා,සින්දමනිට මොකුත් නොවුන ගානට දෙන්න කියලා අයියා මට හැමෝටම හොරෙන් එදා කිව්වේ මේ මගුල නොකෙරැනොත් උඹ විතරක් ඉතුරැ වෙන්න ශිවා විතරක් නෙවේ ,  මුළු පවුලම ගිනි තියා ගන්නවා කියලා...ලොක් අයියා කියන්නේ කියපු දේ කරන කෙනෙක්...ඒ නිසා මට එයා කියන දේ අහන්න වුනා .... "

     "ඒත් දෙයියනේ මගේ පපුව පැලිලා මැරෙයි මං කරපු පව්කාරකමක් ....."

ඒ එක්කම කාමරේට ඇතුල් වුනේ ලොක් අයියා...

"චුටී...." කියද්දීම......

"මීට පස්සේ මගේ ලොක් අයියා මැරිලා,සුමේද මේ දැන්ම අපි කොළඹ යමු"

"අප්පච්චීයි,අම්මයි පොඩි එකා ලග ඇහැරෙයි කියලා ටිකක් හෙමින් කතා කරමු" ලොක් අයියා හෙමීට කිව්වා

"තව මොන කතාද තමුසේ එක්ක...මීට වඩා එදා මට ගිනි තියලා මැරැව නම් හොදයි"

සුමේද නැගිටලා "ඉවසන්න චාරැ" කියලා  ලොක් අයියට ඇගිල්ල දික් කරලා බැන්න එක නවත්තලා ඇදේ ඉන්දෙව්වා

"චුටී... උඹට තිබ්බ ආදරේට තරවටු කලාට..මිනීමරැවෙක් නෙවයි බං මම... උඹලා කවුරැ කවුරැත් බැදලා ගියත් මම තාම තනිකඩ ඇයි කියලා උඹ හිතුවද?....ඒ ශිවා මල්ලී නිසා .. ශිවා උඹ නැති වුනාම පිස්සෙක් වුනා කියලා දැන ගන්නකොට මං මටම සාප කර ගත්තා ...පවුලේ එකම දරැවට වෙච්ච දේට ශිවාගේ අම්මා හුල්ලලම මැරැනා.... පස්සේ ශිවාව මං මේ ගෙදරට ගෙනත් බෙහෙත් කලා ,බලා ගත්තා,වචනයක් කතා නොකර බලාගත්තඅත බලන් හිටිය ශිවා හිටපු ගමන් කතා කරලා ආයේ නිහඩ වෙනවා... උඹ එන නිසයි පොල්වත්තේ ගෙදරට මුත්තු එක්ක ශිවා පිටත් කලේ.... මම මැරෙනකම් ශිවාව බලා ගන්නවා චුටී... වැරදිකලේ මම වෙච්ච කොට....විදෙව්වේ උඹලා ඔක්කෝමල්ලා....මේ මහා රෑ දරැවා එක්ක තනියම කොළඹ යන එක හොද ගමනක් නෙවේ මම පොල් වත්තේ ගෙදරට යන්නම් අවුරැදු උද‍ා වෙනකම් අම්මලා එක්ක ඉදලා යන්න චුටී..."

ලොක් අයියේ.... කියලා කකුල් දෙක කදුළු වලින් නෑවිලා යනකම් අඩනවා ඇරෙන්න කරන්න කිසිම දෙයක් ඒ වෙනකෙට ඉතුරැ වෙලා තිබුනේ නෑ කිසිම දෙයක් හිතා ගන්න තරම් හයියක් මට තිබුනේත් නෑ...දෛයිවය කියන්නේ මේකට නම් ඒකට මුණ දෙන්නම වෙනවා.......

"දුක,
පොළොවට ලඟය 
අහසට දුරය..

නමුත් අහසත් ,පොළොවත් 
එකට එකතුව ඉහිලිය යුතුයි.."


_නිමි_

Tuesday, March 22, 2016

89.ශිවා



             අපි   වව්නියාවෙන් නැග්ග කොළඹ බස් එකේ පිටි පස්සේ  ෂීට් එකේ ,මම දකුණු පැත්තේ ජැනේලේ ලඟත්  එයා මට එහා පැත්තේ  මට කිට්ටුවෙනුත් ඉඳන් කිසිම කතා බහකින් තොරව ටික දුරක් ආවා.... එයාගේ ඉහෙන් කනින් දාඩිය දාන එක මම දැකලා දකුණු අතින් බෙල්ල වටේ දාගෙන හිටිය සල්වාරි අගින් දාඩිය පිහ දැම්මා ඒ වෙනකොට එයාට මාව අත ඇරෙයි කියන බයට  මගේ වම් අතේ ඇඟිලි එයාගේ අතේ ඇඟිලි වලට හිර කරගෙන් හිටියේ.....මම දාඩිය පිහදාන මුවාවෙන් එයාගේ මුණේ දැලි රැවුල් ගස් ගණන් කලා..,එයා එක පාරම හිතපු නැති වෙලාවක මගේ ඇස් දෙකට එබුනා ..ඒ ඇස් වල තිබ්බ ආදරේ කියන්න ඕන වෙලා වගේ බැල්මක්....ඒ මම කෙලින් එයාගේ ඇස් බලපු දෙවෙනි වතාව....පලවෙන් වතාව සින්දමනි එක්ක  කෝවිලේ පුජාවට ගිය දවසේ....මම ඉක්මනින් ඇස් එයාගෙන් ගලවගෙන ජනේලෙන් පිට ඈත පේන ගස් අතරින් බැහැගෙන යන ඉර රතුපාටට ගිනි තියපු වලාකුළු දිහා බලන් හීල්ලුවා.... ඒ එක්කම එයා මගේ අත අතඇරියම මම ආයෙත් එයා දිහා බැලුවා.. ඉදගෙන හිටපු තැනින් නැගිටලා අනිත් අතේ තිබ්බ ශොප්පින් බෑග් එක මගේ අතට දීලා පිටිපස්සේ කලිසම් සාක්කුවේ එයාගේ පර්ස් එකෙන් 500 කොලයක් අරන්, 

"කොළඹට දෙකයි "කියලා 

කොන්දොස්තර අයියට දුන්නා...ඉතිරි සල්ලිත් ආයේ පර්ස් එකේ දාගෙන එයා ආයෙත් මං ලඟින් ඉද ගත්තා... අපි දෙන්නම නිහඩයි මං කතා නොකලේ ඇඩෙයි කියන බයට... එයා කතා නොකලෙත් මට ඇඩෙයි කියලා හිතලා වෙන්න ඕනේ...ඒත් මට ඕන වුනා එයාට කතා කරන්න...අපි යන්නේ කොහේද අහන්න.... ඒත් ඒ කිසි දේකට වඩා බය කොයි වෙලාවේ හරි අප්පච්චිලා බස් එක  නවත්වලා ශිවාවයි මාවයි මරයි කියලා..
       මම එයාගේ දකුණු අත මගේ අත වක කරලා තදින් අල්ලගෙන එයාගේ උර හිසට ඔළුව තියා ගත්තා එයා ගාවින් හරි උස්නෙන් ආව දාඩිය සුවද මං නාස් පුඩු ඇතුලට ගත්තේ හරි ලෝබ කමකින්...ඒවා හරියට ඕඩික්ලෝන් ගාපු පොඩි එකෙක්ගේ සුවද වගේ... ඒ සුවදට මායම් වෙලාම තෙහෙට්ටු වෙච්ච ඇස් ඉ‍බේම පිය වුනා.....
***************************************
මම ටිකකින් ඇහැරැනේ මගේ කම්මුල පුපුරන්න වැදුන කම්මුල් පාරට..ඒ වෙනකොට හිච්චි අයියත් මද්දුම අයියත් ශිවාගේ බෙල්ලෙනුත් අල්ලන් වෙර දාගෙන ගහනවා....

"අනේ අත ඇරපල්ලා"

"පරට්ටි තෝ හිතුවද ?මේ දෙමළ කඩප්පුලියා එක්ක තොට පවුල් කන්න ලැබෙයි කියලා"  ලොක් අයියා වියරැ වැටිලා කෑ ගැහැව්වා..

ඒ අතරින් පෙනුන අප්පච්චිට කන්නලව් කරනවා ඇරෙන්න අයියලාට කියන එකෙන් වුනේ ශිවා  තව , තවත් ගුටිකාපු එක..,,

"අනේ බුදු අප්පච්චී ශිවා අත අරින්න කියන්න අප්පච්චී .."
               මම කෑ මොර දෙද්දී ලොක් අයියා අතේ තිබ්බ පිහියෙන් ශිවාට ඇන්නා ඒ පිහිපාරට ශිවාගේ පපුව පැලිලා ලේ සේරොම ටික මගේ මුනේ හැම තැනම විසි වෙලා සීතලට වේගෙන් පෙරෙන්න ගත්තා...මම පපුවට ගහ ගන්න ගමන් 

"මාවත් මරලා දාපල්ලා ශිවා එක්කම " කියලා කෑ ගහලා අඩන්න ගත්තා...

මම දගලලා දගලලා ශිවාගේ ලේ ගෑවිච්ච ලේ පාර පිහාගෙන ඇස් ඇරියා.....

ඒ ශිවාය ....මට අදහ ගන්න බැරි වුනා
 මගේ කම්මුලට හෙමින් තට්ටු කරන ගමන්

"මැණික ,ඇහැරෙන්න"
"ඒ මැණික"

"හ්ම්ම්ම්"

 ඉබේම ආව කදුළු මාත්තු වෙන්න මම එයාගේ කමිස අතේ මුණ හංග ගත්තා...

"හීනෙන් බය වුනා නේද"

"ඔව්"

"තව ටික වෙලාවකින් එන්නේ අනුරාධපුර,අපි එහෙන් බැහැලා සර්වනාලගේ ගෙදර ඉදලා හෙට පාන්දර බස් එකේ කොළඹ යමු...දැන් කොළඹ ගියොත් රෑ ජාමේ වෙනවා...මට නම් අගු පිලක හරි  ඉන්න පුළුවන් ඒත් මැණිකෙව එහෙම තියන්න මට බෑනේ...."

මම හෙමින් ඔළුව වැනුවා...

"ඒත් අපි කොළඹ යන්නනේ ටිකට් ගත්තේ "මම ඇහැව්වා...

"ඒකට කමක් නෑ,අපි මෙහෙම කරමු"

රෑ තිස්සේ කොළඹ මැණිකේ එක්ක තනි වෙන එක එච්චර හොද නෑ...

ඒ ඔහුමය අවුරැද්දකට ආසන්න වෙන්න ඇස් වලින් මග තොට කතා කල මං පරිස්සම් කරන්න උදේ හවා පෙනෙන දුරින් හිටිය මගේම ශිවා...මම මටම කියා ගත්තා ඒ ආද‍ෙර් ආරක්ෂාව මම ප්‍රතය්‍යක්ෂ කර ගත්තා මටම කියා ගන්න බැරි සතුටකුත් එක්ක....

මගේ කල්පනා අතර සැරි සරද්දි කාලය ගත වුනා දැනුනෙවත් නෑ...අනික මුළු ජිවිතේම කැපකරපු උර හිසට බර දීලා ඉද්දී වෙලාව යන්නේ වේගෙන් ඒත් දැනෙන් නෑ

           "අනුරාධපුර නිව් ටවුන් බහින කට්ටිය බහින්න"  
        කොන්දොස්තර කෑ ගැහැව්වේ නිදන් හිටි අයට ඇහෙන්න ...

අපිත් එක්ක තව කීප දෙනෙක් බස් එකෙන් බැස්සා...එතකොට වේලාව 8පහු වෙලා ඇති ...

ශිවා සර්වනාට කෝල් කරන්න ෆෝන් එක අතට ගත්තා...ඒත් අනික් අතින් හරි පරිස්සමෙන් මගේ අත අල්ලන් හිටියා...

"හලෝ"

"සර්වනා,ඔවම් නාන් බස් ස්ටෑන්ඩක වන්දට"

"සැරි...සැරි "

"සීකර වා මචාං"

"රොම්බ ටයඩා ඉරක"

"ඕකේ බායි ඩා"

ජංගමය සාක්කුවේ දාගෙන් ශිවා මගෙන් ලෙන්ගතුව ඇහැව්වා

"මැණිකෙට බඩගිනිද?"

මම "කොන්ජම්,කොන්ජම්" කියලා  කට ඇද කරලා හිනා වුනා...

"ෂා ඔය අපුරැවට කතා කරන්නේ ටැමිල්,මිස්ටර් ශිවා කන්දසුවාමිගේ පොන්ඩාට්ටි වෙන්න ඉන්නකොට ටැමිල් තමා දැන ගන්න ඕනේ"

ඒ ඇස් සතුටින් දිලිසුනා... මම අඩන් නැතුව ඉන්න හිත හදා ගත්තේ මේ තරම් ආදරයක් දෙන ශිවාව අසරණ කරන්න බැරි නිසා...ඒ ඇස් වල දිලිහෙන සතුට දිය කරන්න බැරි නිසා....හැමදේම විසදුනාම අඩන්න බැරියෑ මම හිතුවා...

"අපි වඩේ කමු "

මම ස්ටෑන්ඩ් එකේ කෙරවලක ඉටිපන්දම් එළියෙන් ව‍ෙඩ් විකුණන සීයා දිහා බලාගෙන  ඇහැව්වා

"සැරි ,,"

"මාමා"

"අපිට අන්ජි වඩ තමා ඕනේ"

"වඩ පහක්" මම ශිවාගේ මහපට ඇගිල්ල කොනිති ගහමින් කිව්වා..

ශිවා හිනා වෙවි "ඔව් පහක්..පහක්"

දෙන්නම හිනා වුනා...ශිවා වඩේ කෑල්ලක් මුලින්ම මට කැව්වා 
"ඒවා වෙනදට රස නැති පරිප්පු වඩේ අද ඒවයේ රස... "

මට ඉබේම කියවුනා

"මං කවපු හින්දද?"

"හ්ම්ම්"
         කියන කොටම අපි ලගට ආව තරැණයෙකුයි, බබෙක් වඩා ගත්ත ගැණු කෙනෙකුයි...

"ඒ ශිවා,එප්පඩි ඉරක"

"නැල්ල තාන්"

"අක්කා සෞඛයමා...

"ඔවම්......තම්බී පොන්න රොම්බ අලගා ඉරැක"ඒ අක්කා එහෙම කියලා හරි සිත්ගන්නා විදිහට හිනා වුනා

මට එහෙන් මෙහෙන් දෙමළ තේරැනාට ඒ වෙලාවේ නම් මෙලෝ දෙයක් හරියට  තේරැනේ නෑ...

සර්වනා අන්නා,අක්කා, මේ තමා චාරැනි..

ඒ දෙන්නම හරි ලෙන්ගතු හිනාවක් පෑවා ... 

හරි අපි යමු එහෙනම් නැත්තම් ටව්න් එකේම ආගිය කතා එක්ක එළි වෙයි....

සර්වනා අන්නා හිනා වෙවි කිව්වා

අපි එයාලගේ කාර් එක තියෙන තැනට ටිකක් ඇවිදගෙන ගියා...මමත්,අක්කත් පිටි පස්සේ අසුනෙත් ශිවා ඉදිරි අසුනටත් ගිහින් ඉදගත්තා ... මම ඒ ගැන නම් ඉදියේ හිතේ නෝක්කාඩුවෙන්...

කාර් එක යන්න පිටත් වෙද්දි පටන් ගක්ත එයාලගේ කතා බහ ....කොක් හැඩලිලි හිනා මාව වටපිටාවේ තිත්ත කළුවර එක්ක තනි කරලා දැම්මා...ශිවා කිප පාරක් "නේද චාරැ" කිව්වම මම "ඔව්" කියලා කිව්වා මතකයි..

මම කරැවලේ ජිවිතේ හොයන්න ගත්තා මම මේ යන්නේ කොහෙද? කරන්නේ මොනවද? කියන එක ගැන හිතේ තිබ්බේ අපහැදිලි බවත් එක්ක...ඒත් මම මෙහෙම ශිවා එක්ක නොඑන්න හෙට වෙද්දී අයියලා ශිවාව සදහටම මේ ලොකෙන් තුරන් කරන්න ගියා.....ඒත් මං ගත්ත තීරණේ හරිද? වැරදිද? මට හරි දෙගිඩියාවක් හිත පුරා ඇදෙන්න ගත්තා

_මතු සම්බන්ධයි_




Monday, March 7, 2016

88.උඩු ගුවනේ නත්තල හා යාළුකම සොයා ගාල්ලට- 01




ලංකාවට හීනෙකින්වත් දෙසැම්බරයක යන්න නොහිතපු වෙලාවක අපි දෙන්නටම හදිස්සි නිවාඩුවක් ලැබුන නිසා 24 වෙනිදා රාත්‍රි 9ට විතර ඉතාලියේ ලියනාඩෝ ඩාවින්චි ගුවන් තොටුපලෙන්  ලංකාව බලා පිටත් උනා...පැය 5පමණ පියාසර කිරීමකින් කටාර් කුවින්ස් ගුවන් තොටුපලට ලගා වීමට නියමිතවද තිබුනා...මගේ හිතේ හරිම කුතුහලයක් තිබ්බා ගුවන් යානයක් තුල නත්තල සැමරුම කොයි වගේ වෙයිද කියලා..කෙමින් කෙමින් 12 වෙද්දි කිසිම මගියෙක් හැල හොල්මනක් නැතුව තම,තමාගේ පාඩුවේ අසුන් වල ඉඳගෙන සමහරෙක් රෑපවහිනී තිරයට නෙත යොමු කරන් සමහරෙක් නිදී කිරා වැටෙමින් සිටියා.... අවසානෙදි කිසිම හැල හොල්මනක් නැති මිනිසුන් මොහොතක් නිරික්ෂණය නරලා ජැනෙල් කවුලුවෙන් පිටත බැලුවා තිත්ත කළුවරයි.. ඊලග මොහොතේ අසුනෙන් නැගිටලා මගේ කරේ දාන බෑග් එක කැබින් එකෙන් අරන්... මම ගුවන් ගත වෙන්න කලින් බෑගයට ඔබා ගත් නත්තල් තෑග්ග හබියා අත තියලා විශ් කලා... මට හරිම අපැහැදිලිතාවයක් තිබ්බේ ලෝකයම සමරණ නත්තල ඇයි මේ මිනිස්සු සමරන්නේ නැත්තේ කියලා...
            කාල වේලාව හරියත්ම ගුවන් යානය කුවින්ස් ගුවන්තොටුපොල වෙත ගොඩ බැස්සා... මගේ ඇස් අදහ ගන්න බැරි තරම් පුදුමයට පත් වුනා එකම එක නත්තල් සැරසිල්ලක්වත් නැති ගුවන් තොටුපලේ සියළු දෙනා සාමානය දිනයක් වගේ වැඩකටයුතු කරමින් සිටියා.ඒ එක්කම හබියාගෙන් මම ඇහැව්වා

"ඒ මොකද හලෝ,නත්තලට සැරසිලි නැත්තේ"

"මුස්ලිම්නේ ඒකයි"

එතනින් එහාට මම මොකුත් අහන්න ගියේ නෑ,
මුස්ලිම් තමා ඉතින් ඒත් නත්තල් ගහක් හැදුවට මැරෙනවද?
අපේ කොච්චරනම් බෞද්ධ නොවන අය වෙසක් එකට කූඩු හදනවද? නත්තලට කතෝලික නොවන අය නත්තල් ගස්,ගවලන හදනවද?
අනේ මුන්ටනේ බැරි....
කියලා හිත... හිත ඊලග ගුවන් යානය එන තෙක් රැදවුම් මැදිරියේ ඉන්න කොට අපේ මෙතුවා එක්කත් විස්තර ටිකක් කතා කරන්න හම්බුනා  හරහා..ඉතින් කාල වෙලාව ආවම අපි ලංකාව බලා පිටත් වෙන ගුවන් යානයේ අසුන් ගෙන පැය 5කට ආසන්න පියාසර කිරීමකින් පසු  නත්තල් දා 15.30වන විට ලංකාවට ගොඩ බැස්සා අම්මත් තාත්තත් අපිව ගන්න ගුවන්තොටුපලට ඇවිත් හිටියා...අම්මලාට ඒ නත්තලට හම්බුන හොදම තෑග්ග තමා අපි ගෙදර ආව එක... මම අවුරැදු නවයකට පස්සේ අම්මලා එක්ක නත්තල් සැමරැවා...හරිම සතුටු නත්තලක් ඔය විදිහට ගෙවිලා ගියා
කුවින්ස් ගුවන්තොටුපල


         ඉතින් අපිට තිබුනේ දවස් 18ක කෙටි කාලයක් ගොඩක් වැඩ කරන්න හිතන් හිටිය  නිසා ගොඩක් දෙනෙක්ව මුණ ගැහෙන්න බැරි උනා...ඒ ගැන නම් හිතට පොඩි දුකක් තිබුනා...මොනා කරන්නද ලැබුනු විදිහට හැමදේම කර ගන්න අපිට සිද්ධ වුනා...
          හා හා පුරා කියලා එකටම කරේ ලොකු පාටී  නැතුව අපි හදපු ගෙට  ගෙවදින එක  ,පොඩියට කිරි ටිකක් උතුරලා කිරිබතක් හදලා චාරිත්‍ර අනුකූලව සාර්ථකව ඒ කටයුත්ත ඉවර කර ගත්තා...අපි යැව්ව හැම රුපියලකටම වටිනාකමක් දීලා තාත්තා හරි අපුරුවට ගෙදර වැඩ නිම කරවලා තිබුනා..ඊට වඩා සතුටක් තව කොහෙන්ද..තට්ටු ගනන් වල ගෙයක් නම් නෙවේ කාමර 3 කුත් නාන කාමරයකුත් සාලයකුත් පුංචි කුස්සි කෑල්ලකුත් එකතු වුන ගෙයක් කවදා හරි දරැවෙක්ට ලංකාවේ රස්සාවක් කරලා තීන්ත ටිකක් හරි උලා ගන්න පුළුවන් විදිහට තමා ගෙදර හැම දේම නිම වෙලා තිබුනේ....





කිරි ඉතුරැවා

ඔන්න 2015 වු 27 වෙනි ඉරිදා මාස ගානක් ප්ලෑන් කරපු ,මගේ උපන් දිනය දවසේ මට උදව් කල ,අවුරැද්දක පමණ කාලයක් හිතවත්කමක් ගොඩ නැගුන යාළුවාගේ ගෙදර යන්න උදේන්ම පිටත් උනා...ඒ අපි එකිනෙකාව පියවි ඇසට දකින පලවෙනි වතාව.කඩවත ඇය රැකියා කටයුතු කරන රෝහල් නේවාසිකාගාරයට ගොස් ඇයවද මේ ගමනට එකතු කරගෙන කඩවත- මාතර අධිවේගී මාර්ගය පිවිසුනා....ඉතින් ඊට පස්සේ ගාල්ලට යන තෙක්ම අපි තුන්දෙනාට තොර තෝංචියක් නැතිව කතා කරන්න බොහෝ දේ තිබුනු අතර ගාල්ලට ඇතුළු වී අපි එකටම රෑමස්සල යන්න තීරණේ කලා ..රෑමස්සල වැදපුදාගෙන "ජංගල් බීච්" මුහුදු තීරයේ ටික වේලාවක් ගත කරපු අපි ආපහු ගාලු කොටුව බලන්න ආවා,එකටම කෞතුකාගාරයට ඇතුල් වීමේ ටිකට් ගත්තා...ඒ එක්කම මගේ අතේ තිබුනු කැමරාව දැකලා පින්තූර ගන්නවා නම් රපියල්250 ගෙවිය යුතු බව කවුන්ටරේ හිටිය අංකල් කී නිසා කැමරාව බෑගයේ දමා ගන්න මං තීරනේ කලා... මොකද මගේ යාළුවා කිව්වා. එතැන 250ක් දීලා ගන්න තරම් දේවල් නෑය කියලා...
 ඔන්න ඉතින් අපි ඇතුලට ගියා..අනේ කාලේ වනේ වාසේ කිව්වලු බොහෝ දෙනා ජංගම දුරකඵන වලින් හිටු කියා පින්තූරැ ගන්නවා ,මාත් ඇපලාගෙන් පින්තූර කිහිපයක් අර ගත්තා...ඒ පින්තූර පහතින් දැක්වේ





කඩොලාන ශාඛ


තල්මසෙකුගේ සැකිල්ලක්


මුහුදු බෙල්ලෝ වර්ග



මාළු
ඩොඩල් පක්ශී 













         ධීවර ගමක්.

                  ඊට පස්සේ අපි තුන්දෙනා ගාලු කොටුව පුරා ඇවිද්දා, ගාලු කොටුවේ තැනින් තැන හිටිය අඹ අච්චාරැ වෙළෙන්දන්ව අත නෑර අඹ අච්චාරැ කෑවා හැබැයි ලංකාවෙන් එද්දි අවසාන නිගමනය නම් ගාල්ලේ අඹ අච්චාරැ වලට ගහන්න අච්චාරැ කොහෙවත් නැති බවයි...එදා ගාලු කොටුවේ මොකක් හරි උත්සවයක් තිබ්බා ඒ නිසා සෙනග පිරිලා අපි කන්ඩ තැනක් හොයන් හතර අතේ ඇවිදලා තැනක් හම්බුනේ නැති නිසා ආයෙත්  ගාල්ලෙන් නික්මුනා.... 

කිඹුලි අච්චාරැ තෝරමින්






ගාල්ල

ඊලගට අපි ගියේ යටිගල රජමහා විහාරයට අවුරැදු 2300ක් පෞරාණික මේ රජ මහ විහාරය මහා ගල් කුල කිහිපයකින් එකතු උන තැනක් ඒ වගේම  ශ්‍රී මහා  බෝධියේ කොටසක් දේවානම් පියතිස්ස රජ සමයේදී යටිගල රජ මහා විහාරයේ රෝපණය කරපු බව ඒ විහාරය බලා කියා ගන්න වයසක අංකල් කෙනෙක් කිව්වා එතන හරි අපුරැ පිං බිමක්... ගාල්ලේ ගියොත් මේ තැන නම් මග අරින්න එපා...
     

                                               







ශ්‍රී මහා බෝධියේ කොටසක් යටිගල පන්සලේ රෝපණය කර තිබෙන අයුරැ
.                                     


කළු ගල් වලින් වට වු පන්සල

අපේ බඩගින්න ඇවිලුන හින්දා විහාරය කිට්ටුව පොඩි ලෑලී කඩේකින් උණු උණු වඩෙයි රොටි කෑවා..පස්සේ අපි යාළුවගේ ගෙදර එන්න පිටත් උනා ඒ මගදී ගම්පෙරලිය පොතේ කියැවෙන පන්සලකටත් මායි යාළුවයි ගියා හබියට ඒ වෙනකොට මාර මහන්සිය...උදේ 6යේ ඉදන් ඇහැරන් කිලෝමිටර් 250කට වඩා සුක්කානම කරකවලා තිබුන නිසා අපි 29 වෙනිදා 14.00 වෙනකොට යාළුවගේ ගෙදර අන්තීම නවාතැන්පොළ කර ගත්තා...


ඊලග කොටසින්
             ආගන්තුක සත්කාර ,දෙවුන්දරදී හිච්චි අක්කාගේ බල්ටිය හා කතරගම ගමන