Sunday, June 12, 2016

98. මායිම් ගමේ වීරමනී



            දමිත් අසංක කියන්නේ වෙරලියද්ද මහත්තයට චාමර වීරසිංහට කට හඩින් පොඩි සමානකමක් තියෙන ගායකයෙක්...හැබැයි ඔය කට හඩවල් තුනම මට ඇහෙන්නේ එක කාල වකවානුවක.... මොන ජාතියේ ගීතයක් වුනත් මම රස විදින එක නම් ගීතයෙන් ගීතයට වැඩි වුනා මිස අඩුවක් නම් වුනේ නෑ .. අද ලියවෙන්නේ දමිත් අසංකගේ හඩින් හදවත ස්පර්ෂ කරපු ගීයක පද වලට මට එකතු කරන්න හිතුන අකුරැ ටිකක්...

මායිම් ගමේ වීරමනී නුබ කාටද අයිතී
ඒ පැත්තට ගියොත් හැබැයි තුවක්කුවට අයිතී
සාමේ තියන් යුධ කෙරැවට සාමේ නෑ පිබිදී
බොරැවක් නොව අපි ඔක්කම එකම තැනක පැටලී  
                  
             ඒ යුද්ධේ කාලේ මායිම් ගම්මාන වල සිංහල දෙමළ මිනිස්සු රෙදිකඩ මල්ලක් අරන් රෑට,රෑට කැලේ පනිනවා කොටි ඇවිත් මරයි කියන බයට සිංහල මිනිස්සු අමු අමුවේ මරලා දාලා දරැවෝ හිතක් පපුවක් නැතුව මරලා දාපු කාලයක් තිබ්බා ඔව් ඕවා මතක් වෙද්දි දෙමළ මිනිස්සු ගැන අපිට දැනෙන්නේ මහා පිළිකුලක් ඒත් මායිම් ගම්මාන වල හිටිය දෙමළ මිනිස්සු කැලේ පැන්නේ ඇයි? උන්ගේ උන්මනේ කොටි,නෑ කොටි උන්ව මැරැවේ නැති වුනාට නේක දුක් විදලා වේලක් නොකා වේලක් කාලා හරි හදා වඩා ගත්ත තමන්ගේ දරැවෝ ළමා සොල්දාදුවෝ විදිහට පුහුණු කරන්න පන්නන් යයි කියලයි....සිංහල දෙමළ කියලා නෑ  මිනිස්සු කවුරැත් කැමති සාමෙන් ඉන්න අන්න ඒකයි ඇත්ත..මහා උන්ට රට දෙකඩ කරන් අයිතී ඉල්ලන්න ඕන උනාට හැම මිනිහටම ඕන වුනේ කාටත් කරදරයක් නැතුව ජීවත් වෙන්න...සරත්ලගේ,ගුණේලගේ,සමන්ලගේ ලේ .... කුමාර්ලගේ,වීරමනීලගේ,සාමිලගේ ,නඩේෂන්ලගේ ලේ වැටුන උතුරැකරේ වැලි කැට වලට පුළුවන් නම් අඩයි.. මහා කාලයක් තිබ්බ යුද්ධේ දුක කියලා..

යාපනයේ පුස්තකාලයටත් සිංහල පොත් එපාද
තල් ගස් වල කරටි නැතුව තල් කිරි රස තවම නැතිද
ජිවිතයේ උරැමය මරණය බෙල්ලේ බැදන් ඉදිද
යාපනයට ඇවිත් යන්න අපිටත් පිං ලැබෙයිද
             
               යාපනේ පුස්තකාලෙට සිංහල පොත් තිබ්බම අකැපයි කියලා හිතපු නෝන්ජල් නායකත්වයක් තිබ්බ උතුරේ මායිම් ගමක උගන්වන්න ගිය දෙමළ ගුරැවරියක් මට අපුරැ කතාවක් කිව්වා තල් කියන්නේ කෝකටත් තෛලය වගේලු ,උතුරේ මිනිස්සුන්ගේ ගොඩක් ගෙවල් සෙවිලි කරන්න එහෙම අරන් තිබුනේ වියළි තල් කොලලු...තල් වලින් හදන කෑම ජාති වුනත් ඒ මිනිස්සු පාවිච්චි කරේ බඩිගින්නට කොයි කෑමත් ඔට්ටුයි කියලා හිතන්ලු... අපි රෙදි වලට ගාන්න සන්ලයිටුයි ඇගට ගාන්න සුවද සබන් ජාතියි ගද්දී ඒ ළමයි තල් ඇට වලින් රෙදි වල අතුල්ලලලු තමන්ගේ සුදු ගවුම් පවා හෝදන්නේ...අම්මා,අප්පා කියලා ලිව්වට උන්ටත් පුංචී හිත් වල හීන තියෙන්න ඇති...ඒත් සරෝජලට වගේ වෙඩි සද්දෙට අකුරැ ඇද වෙලා ජීවිතේ දුක් විදින්න සිද්ධ වෙන්න ඇති....
           කටේ කිරි සුවදවත් යන්න කලින් මරණය ඊයම් කොපුවක හිර කරලා බෙල්ලේ එල්ලපු ළමයි ගැන හිතන කොට......ලොකු වෙලා ලස්සනට කසාදයක් කරන්න හීන 
දැකපු අම්මා කෙනෙක් වෙන්න හීන දැකපු තරැණියෝ නිරපරාදේ ටී පනස් හයට,මරාගෙන මැරෙන බෝම්බ වලට , සයිනයිඩ් කරලට ජිවිතේ වේදනාවෙන් බිලි දෙන්න ඇද්ද....ඒ ගැන හිතනකොට අදටත් මගේ ඇගේ හිරි ගඩු පිපෙන්නේ බයට...


පිට කොටුවේ බෝ ගහ යටට එන්නට නුබ බයයිද
කතරගමට බාර වෙන්න නුබට ටිකක් එන්න බැරිද
වවුනියාවේ යන්න කෝච්චියට මරදානෙන් නගින්න
කොළඹ පැත්තේ ඇවිත් යන්න උඹටත් පිං ලැබේද


          2005 අවුරැද්දේ මම තාත්තා එක්ක කොළඹ ගිහින් එද්දි වව්නියා බස් එකට නැගලා දෙමළ අම්මා කෙනෙක් ඉදගෙන හිටිය ෂීට් එකේ මෙහා පැත්තේ ඉද ගත්තා මොකද කවුරැත් ඒ දෙමළ අම්මා ලග ඉදගන්න කැමැත්තක් දක්වලා නෑ කියලයි මට හිතුනේ... මොකද එතන කිහිප දෙනෙක් හිටගෙන තමන්ගේ ලෝක වල හිටියේ ...ඉහෙන් කනෙන් දාඩිය පෙරන් හිටිය  අම්මා මගේ අතේ තිබ්බ වතුර බෝතලෙන් වතුර ටිකක් ඉල්ලුවේ පිපාසේ වැඩි කමට වෙන්න ඇති මම එතකොට කටේ තියන් වතුර බාගෙට අඩුවෙන් බීලා හිටියේ 

"මම,කට තියලා වතුර බිව්වනේ"
   
මම එහෙම කිව්වේ වතුර දෙන්න අකැමැති කමට නෙවේ ඇත්තටම කටේ තියන් බිව්ව නිසා

"අනේ කමක් නෑ නෝනා, වතුර ගන්නවත් කොළඹ කඩේකට යන්න බෑ සිංහල අය අපි කොටි කියලා හිතන් බලනවා"

මම අතේ තිබ්බ වතුර බෝතලේ දුන්නම තිබහා කොච්චර තිබ්බත් වතුර උගුරැ දෙකක් විතර බීලා බෝතලේ දුන්නා.... ඒ වෙනකොට මම බහින්න ලං වෙලා හිටියේ 


"නෑ අම්මා තව දුර යන්න ඕනනේ මේ වතුර බෝතලේ තියා ගන්න,මම තව ටිකකින් බහිනවා" 

"නෝනට පිං තමා"

....කියලා ටිකකින් ඒ අම්මා හදිස්සියෙන් පොඩි පර්ස් එකක උන්ඩි කරපු කොලයකුයි,පෑනකුයි අරන්

"නෝනා මගේ එඩ්රස් එක ලියා ගන්න,යාපනේ එන්න කලින් ලියුමක් දාන්න"

මම කොලේ අරන් පෑනෙන් ඒ අම්මා කිව්ව එඩ්රස් එක ලියා ගත්තා ඒත් මට ලියුමක්වත් ලියන්න බැරි වුනා...
අවුරැදු 11ක් තාම ඒ මුණ මැවිලා පේනවා... ඒ අම්මා ජිවතුන් අතරද කියලා මම දන්නේ නෑ
_____________________________________

ඒ වගේම 2012 ලංකාවට එද්දී රෝමයේ ගුවන්තොටුපලේදී හම්බුන සෙල්වම්,මාලනී යුවලගේ පුතා ධනුෂ් යුද්ධේ කාලෙදී ලංකාවෙන් ඇවිත් පුතාට තමන්ගේ රට පෙන්වන්න යන පලවෙනි පාර ලංකාව ගැන කිසිම දෙයක් දන්නේ නැතුව ඉතාලි බසින් මගෙන් විස්තර ඇහැව්වා... ලංකාවට ගොඩ බැහැලා බණ්ඩාරනායකයෙන් එළියට යනකම්ම පාර කියන්න මට අවස්තාව ලැබුනා...අදටත් ඒ පවුලේ උදවිය ඒ පුංචි දේ හරි ඉහලින් මතක් කරනවා....
                යුදධේ ඉවර වුන එක ගැන ජාති බේද නැතුව හැමෝම සතුටු වෙනවා අන්න ඒක සිංහලකම...තෝස,වඩ,සාබ්බාරැ ,ඉට්ලි කන්න අපි වගේම උතුරේ මිනිස්සු කැවුම්,කොකිස් ආස්මී කන්න ආසයි කියලා අමතක නොකර ඉමු....