Sunday, June 12, 2016

98. මායිම් ගමේ වීරමනී



            දමිත් අසංක කියන්නේ වෙරලියද්ද මහත්තයට චාමර වීරසිංහට කට හඩින් පොඩි සමානකමක් තියෙන ගායකයෙක්...හැබැයි ඔය කට හඩවල් තුනම මට ඇහෙන්නේ එක කාල වකවානුවක.... මොන ජාතියේ ගීතයක් වුනත් මම රස විදින එක නම් ගීතයෙන් ගීතයට වැඩි වුනා මිස අඩුවක් නම් වුනේ නෑ .. අද ලියවෙන්නේ දමිත් අසංකගේ හඩින් හදවත ස්පර්ෂ කරපු ගීයක පද වලට මට එකතු කරන්න හිතුන අකුරැ ටිකක්...

මායිම් ගමේ වීරමනී නුබ කාටද අයිතී
ඒ පැත්තට ගියොත් හැබැයි තුවක්කුවට අයිතී
සාමේ තියන් යුධ කෙරැවට සාමේ නෑ පිබිදී
බොරැවක් නොව අපි ඔක්කම එකම තැනක පැටලී  
                  
             ඒ යුද්ධේ කාලේ මායිම් ගම්මාන වල සිංහල දෙමළ මිනිස්සු රෙදිකඩ මල්ලක් අරන් රෑට,රෑට කැලේ පනිනවා කොටි ඇවිත් මරයි කියන බයට සිංහල මිනිස්සු අමු අමුවේ මරලා දාලා දරැවෝ හිතක් පපුවක් නැතුව මරලා දාපු කාලයක් තිබ්බා ඔව් ඕවා මතක් වෙද්දි දෙමළ මිනිස්සු ගැන අපිට දැනෙන්නේ මහා පිළිකුලක් ඒත් මායිම් ගම්මාන වල හිටිය දෙමළ මිනිස්සු කැලේ පැන්නේ ඇයි? උන්ගේ උන්මනේ කොටි,නෑ කොටි උන්ව මැරැවේ නැති වුනාට නේක දුක් විදලා වේලක් නොකා වේලක් කාලා හරි හදා වඩා ගත්ත තමන්ගේ දරැවෝ ළමා සොල්දාදුවෝ විදිහට පුහුණු කරන්න පන්නන් යයි කියලයි....සිංහල දෙමළ කියලා නෑ  මිනිස්සු කවුරැත් කැමති සාමෙන් ඉන්න අන්න ඒකයි ඇත්ත..මහා උන්ට රට දෙකඩ කරන් අයිතී ඉල්ලන්න ඕන උනාට හැම මිනිහටම ඕන වුනේ කාටත් කරදරයක් නැතුව ජීවත් වෙන්න...සරත්ලගේ,ගුණේලගේ,සමන්ලගේ ලේ .... කුමාර්ලගේ,වීරමනීලගේ,සාමිලගේ ,නඩේෂන්ලගේ ලේ වැටුන උතුරැකරේ වැලි කැට වලට පුළුවන් නම් අඩයි.. මහා කාලයක් තිබ්බ යුද්ධේ දුක කියලා..

යාපනයේ පුස්තකාලයටත් සිංහල පොත් එපාද
තල් ගස් වල කරටි නැතුව තල් කිරි රස තවම නැතිද
ජිවිතයේ උරැමය මරණය බෙල්ලේ බැදන් ඉදිද
යාපනයට ඇවිත් යන්න අපිටත් පිං ලැබෙයිද
             
               යාපනේ පුස්තකාලෙට සිංහල පොත් තිබ්බම අකැපයි කියලා හිතපු නෝන්ජල් නායකත්වයක් තිබ්බ උතුරේ මායිම් ගමක උගන්වන්න ගිය දෙමළ ගුරැවරියක් මට අපුරැ කතාවක් කිව්වා තල් කියන්නේ කෝකටත් තෛලය වගේලු ,උතුරේ මිනිස්සුන්ගේ ගොඩක් ගෙවල් සෙවිලි කරන්න එහෙම අරන් තිබුනේ වියළි තල් කොලලු...තල් වලින් හදන කෑම ජාති වුනත් ඒ මිනිස්සු පාවිච්චි කරේ බඩිගින්නට කොයි කෑමත් ඔට්ටුයි කියලා හිතන්ලු... අපි රෙදි වලට ගාන්න සන්ලයිටුයි ඇගට ගාන්න සුවද සබන් ජාතියි ගද්දී ඒ ළමයි තල් ඇට වලින් රෙදි වල අතුල්ලලලු තමන්ගේ සුදු ගවුම් පවා හෝදන්නේ...අම්මා,අප්පා කියලා ලිව්වට උන්ටත් පුංචී හිත් වල හීන තියෙන්න ඇති...ඒත් සරෝජලට වගේ වෙඩි සද්දෙට අකුරැ ඇද වෙලා ජීවිතේ දුක් විදින්න සිද්ධ වෙන්න ඇති....
           කටේ කිරි සුවදවත් යන්න කලින් මරණය ඊයම් කොපුවක හිර කරලා බෙල්ලේ එල්ලපු ළමයි ගැන හිතන කොට......ලොකු වෙලා ලස්සනට කසාදයක් කරන්න හීන 
දැකපු අම්මා කෙනෙක් වෙන්න හීන දැකපු තරැණියෝ නිරපරාදේ ටී පනස් හයට,මරාගෙන මැරෙන බෝම්බ වලට , සයිනයිඩ් කරලට ජිවිතේ වේදනාවෙන් බිලි දෙන්න ඇද්ද....ඒ ගැන හිතනකොට අදටත් මගේ ඇගේ හිරි ගඩු පිපෙන්නේ බයට...


පිට කොටුවේ බෝ ගහ යටට එන්නට නුබ බයයිද
කතරගමට බාර වෙන්න නුබට ටිකක් එන්න බැරිද
වවුනියාවේ යන්න කෝච්චියට මරදානෙන් නගින්න
කොළඹ පැත්තේ ඇවිත් යන්න උඹටත් පිං ලැබේද


          2005 අවුරැද්දේ මම තාත්තා එක්ක කොළඹ ගිහින් එද්දි වව්නියා බස් එකට නැගලා දෙමළ අම්මා කෙනෙක් ඉදගෙන හිටිය ෂීට් එකේ මෙහා පැත්තේ ඉද ගත්තා මොකද කවුරැත් ඒ දෙමළ අම්මා ලග ඉදගන්න කැමැත්තක් දක්වලා නෑ කියලයි මට හිතුනේ... මොකද එතන කිහිප දෙනෙක් හිටගෙන තමන්ගේ ලෝක වල හිටියේ ...ඉහෙන් කනෙන් දාඩිය පෙරන් හිටිය  අම්මා මගේ අතේ තිබ්බ වතුර බෝතලෙන් වතුර ටිකක් ඉල්ලුවේ පිපාසේ වැඩි කමට වෙන්න ඇති මම එතකොට කටේ තියන් වතුර බාගෙට අඩුවෙන් බීලා හිටියේ 

"මම,කට තියලා වතුර බිව්වනේ"
   
මම එහෙම කිව්වේ වතුර දෙන්න අකැමැති කමට නෙවේ ඇත්තටම කටේ තියන් බිව්ව නිසා

"අනේ කමක් නෑ නෝනා, වතුර ගන්නවත් කොළඹ කඩේකට යන්න බෑ සිංහල අය අපි කොටි කියලා හිතන් බලනවා"

මම අතේ තිබ්බ වතුර බෝතලේ දුන්නම තිබහා කොච්චර තිබ්බත් වතුර උගුරැ දෙකක් විතර බීලා බෝතලේ දුන්නා.... ඒ වෙනකොට මම බහින්න ලං වෙලා හිටියේ 


"නෑ අම්මා තව දුර යන්න ඕනනේ මේ වතුර බෝතලේ තියා ගන්න,මම තව ටිකකින් බහිනවා" 

"නෝනට පිං තමා"

....කියලා ටිකකින් ඒ අම්මා හදිස්සියෙන් පොඩි පර්ස් එකක උන්ඩි කරපු කොලයකුයි,පෑනකුයි අරන්

"නෝනා මගේ එඩ්රස් එක ලියා ගන්න,යාපනේ එන්න කලින් ලියුමක් දාන්න"

මම කොලේ අරන් පෑනෙන් ඒ අම්මා කිව්ව එඩ්රස් එක ලියා ගත්තා ඒත් මට ලියුමක්වත් ලියන්න බැරි වුනා...
අවුරැදු 11ක් තාම ඒ මුණ මැවිලා පේනවා... ඒ අම්මා ජිවතුන් අතරද කියලා මම දන්නේ නෑ
_____________________________________

ඒ වගේම 2012 ලංකාවට එද්දී රෝමයේ ගුවන්තොටුපලේදී හම්බුන සෙල්වම්,මාලනී යුවලගේ පුතා ධනුෂ් යුද්ධේ කාලෙදී ලංකාවෙන් ඇවිත් පුතාට තමන්ගේ රට පෙන්වන්න යන පලවෙනි පාර ලංකාව ගැන කිසිම දෙයක් දන්නේ නැතුව ඉතාලි බසින් මගෙන් විස්තර ඇහැව්වා... ලංකාවට ගොඩ බැහැලා බණ්ඩාරනායකයෙන් එළියට යනකම්ම පාර කියන්න මට අවස්තාව ලැබුනා...අදටත් ඒ පවුලේ උදවිය ඒ පුංචි දේ හරි ඉහලින් මතක් කරනවා....
                යුදධේ ඉවර වුන එක ගැන ජාති බේද නැතුව හැමෝම සතුටු වෙනවා අන්න ඒක සිංහලකම...තෝස,වඩ,සාබ්බාරැ ,ඉට්ලි කන්න අපි වගේම උතුරේ මිනිස්සු කැවුම්,කොකිස් ආස්මී කන්න ආසයි කියලා අමතක නොකර ඉමු.... 


11 comments:

  1. මාත් විශ්වාස කරන දෙයක් තමයි කිබුලී රට දෙකඩ කරන්න කතා කරන්නේ, අනවශ්‍ය ප්‍රශ්න ඇද ගන්නේ මහ එව්න්.. ඒත් අපි වගේ සාමාන්‍ය මිනිස්සු කාටවත් එහෙම ඕනෙ නෑ..... සිංහල දෙමල බේදයක් නැතුව.... හැමෝම කැමතී සතුටින් සාමයෙන් ඉන්න.... යුද්ධයේ තිබුණු දරුණු බව බිහිසුණු බව හොඳටම දන්නේ මේ පොලොව විතරයි....


    ඔයාගේ අද්දැකීම නම් හරිම සංවේදී... ඒ අම්මාට මොනතරම් බයක්, දුකක් ඒ වෙලාවේ දැනෙන්න ඇද්ද??? මට හිතෙන්නේ වතුර දීලා ඔයා ඒ අම්මාගේ පිපාසය නැති කරා වගේම හිතේ තිබුණු පිපාසයත් නැති කරා කියලයි....

    ReplyDelete
  2. සමන්ත විද්යරත්නගේ අලුත් පොස්ට් එක කියෙව්වද? අපි ලෝකෙම උන්ගේ සංස්කෘතිය ගැන හොයනවා ඉගෙන ගන්නවා අපේම සහෝදරයා වෙච්චි අල්ලපු ගෙදර දෙමල මිනිහගේ සංස්කෘතිය සමාජය ගැන ඉගෙන ගන්නේ නෑ.. උඹ දෙමලෙන් ලියල සිංහලට හරි ඉංග්‍රීසියට හරි හරවපු පොත් කියක් කියෝලා තියෙනවද? මටම ලජ්ජා හිතුන මගේ පොත් කබඩ් එකේ රුසියාවේ, ජපානේ ඇමෙරිකාවේ එංගලන්තේ එවුන් ලියපු පොත්වල පරිවර්තන තියෙද්දී එකම දෙමල පොතකවත් පරිවර්තනයක් නෑ.. අඩුම තරමින් මඩකලපුවේ ඉපදිලා බදුල්ලේ හැදිලා වැඩිලා කාලයක් තිස්සේ ට්‍රින්කෝ, යාපනේ වැඩ කරපු මට තාම හරියට දෙමලෙන් කතා කරන්නවත් බෑ.. මේ දමිත් අසංකගේ සින්දුව මම අහලා තිබ්බට තේරිලා තිබුනේ නෑ.. උඹට ස්තුතියි තේරුම් කරලා දුන්නට.. උතුරේ පොඩි එව්වෝ ගැන උඹ ලියල තියෙන ඒවා හරියටම හරි.. මට මතකයි මම ටික කාලෙකට කලින් බෝධිනී ගේ අනිත් කොන පොත ගැන ලියද්දි ඒ වගේ ඇඟ හිරි වැටෙන අත්දැකීමක් ලියුව..

    ReplyDelete
    Replies
    1. මගෙ කබඩ් එකේ දෙමළෙන් සිංහලට දාපු පරිවර්තන දෙක තුනක්වත් තියෙනවා. දෙමළෙන් කියන දෙයක් තේරුම් ගන්න වචන ගැට ගහල දෙමළෙන් යමක් කියන්න මට පුළුවනි.හැබැයි ඒ ලංකාවෙදි නෙවෙයි තමිල්නාඩුවෙන් ලැබුණු තෑගී.එක රටේ තිබුණට උතුරයි දකුණයි කොච්චර දුරස්ද.

      Delete
  3. හැම දමිලයම ජාතිවාදීන් නෙමෙයි. බෙදුම්වාදීන් ඇතිකරපු සිංහලයා ගැන බිය සහ සැකය අඩු කරන්න යුද්ධෙන් පස්සෙ සහ අදත් වෙන දේවල් නම් අවමයි.

    ReplyDelete
  4. අක්කෙ මේ ලියමන හරි සංවේදී යි. කැම්පස් එකෙදී යුද්ධෙ ගැන මායිම් ගම්මාන වල හිටපු යාලුවො විස්තර කියන ඒව අහල මිසක්, ටීවී එකේ දවසින් දවස කියන විස්තර, මරණ ගාන ඇස් ලොකු කරන් බය බිරාන්තව අහන් හිටිය සහ අන්තිම කාලෙ යුද්ධෙ දිනාගෙන එද්දි හුරේ දැම්ම පොඩ්ඩො ගොඩට අයිති වුණු අපිට යුද්ධෙ ගැන ප්‍රායෝගික අදහසක් නෑ අක්කෙ.යුද්ධෙ ගැන බය හිතට ආවෙ මට තුන් තිස් පැයේම බෝම්බ පුපුරන කොළඹට මගෙ වෙන්ඩ මහත්තැන් රස්සාවට ගියාට පස්සෙයි. ආත්මාර්ථකාමීකමක් නෙමෙයි සහෝදරී, ඒත් මට යුද්ධෙ ලොකුවට දැනුනෙ ඒ කාලෙදි තමයි.

    අසංක කියපු බාගෙට සැලුන් දොරයි, වැදි සින්දුයි නිසා මට ඔහු ගැන තිබ්බෙ අපැහැදීමක්...ඔයාගෙ ලියමනින් පස්සෙ මටත් මේ ගීතයෙ රහක් පෙනුන අක්කෙ. හැබැයි දැන් අසංක අලුත් ආරක ගී කියනව, ඒ වෙනසත් එක්ක ඇහෙන සින්දු වලටනම් මං කැමති.

    ReplyDelete
  5. ජාති වාදයන් තොර ශ්‍රී ලංකාවක්, කිබුලිට ජය,කුකුළත් ජාති වාදයෙන් ආගම් වාදයෙන් තොරයි,

    ReplyDelete
  6. කියවා නිහඬව යන්නට යමි :)

    ReplyDelete
  7. කුහක දේශපාලුවෝ ඉන්නකන් ඔය බෙදීම් ඇත්තටම ඉවර වෙන්නේ නෑ. ඒක අවාසනාව.

    ReplyDelete
  8. බර හුස්මක් ගන්නවා වගේ පපුව හිරවෙන ගතියක් මට දැනුනා
    මේක නිකම්ම ලියවිල්ලක් නෙවෙයි පිංකමක්

    ReplyDelete
  9. හිතාගන්න බෑ ශානු අක්කා මේ තරම් ලස්සනට හිතේ තියෙන ඒවා ලිපියකට ගොනු කරන්නෙ කොහොමද කියලා....ගොඩාරියක් පිං මේ ලිපිය වෙනුවෙන් ...

    ඒ අම්මාවයි පුංචි ශානුවයි බස් රථයේ එක ලඟින් ඉඳගෙන යන හැටි මැවිලා පෙනුණා මොහොතකට ...

    ReplyDelete
  10. මෙන්න මේකි විල් තෙරේ කිඹුලි වෙලා ඒ පාර ,

    ශානුවා ,
    දැන් ජාති භේද අවුස්සන්නේ නම් ඔය ලොකු පුටුවල ඉන්න ඇත්තෝ තමයි..
    යුද්දේ කාලේ ගොඩක් සිද්දි අහන්න ලැබුණා මටත් අපේ සහෝදරයෙක්ගෙන්.ඒවා ඇස් වලට දැකපු හැටි විස්තර කරද්දී අහන් ඉන්න බෑ ..
    ආපහු නම් ඒ වගේ කාලකන්ණි කාලයක් උදා වෙන්න එපා..

    ReplyDelete

හැකි නම් පුංචි අදහසක් දක්වලා යන්න,ඒ අදහස මට මිල කල නොහැකි තරම් වටිනවා.,අදහස් නොදැක්වුවා කියලා අහිතක් නෑ මොකද ගෙවෙන සෑම තත්පරය ඔබට බොහෝම වටින බව මා දන්නා නිසා....සියළු ප්‍රාර්ථනා ඉටු වෙන සුබ දවසක්!