Saturday, June 23, 2018

107.රස දියද?බුධ ග්‍රහයද?

                     චිත්‍රපටි කිව්වම විවිධ භාෂා වලින් විවිධ කැටගරි වලට බෙදලා ගන්න පුළුවන් චිත්‍රපටි බිහි වෙලා තියෙනවා. ඒ අතරින් "horror" චිත්‍රපටි නම් මහා විකාර බැලුවට මෙලෝ බයක් හිතෙන එක දර්ශනයක් නෑ.... ලව් ස්ටෝරි නම් මෑත කාලෙදී බිහි වෙච්ච තාත්විකයි කියන්න පුළුවන් කිසිම එකක් නෑ. ඇක්ෂන් ගත්තම වෑන් ඩෑන්ලගේ කාලෙන් පස්සේ මට සෙට් වෙන කිසිම චිත්‍රපටියක් නෑ ඒත් දකුණු ඉන්දියන් චිත්‍රපටි නම් ලොවෙත් නැති ජරා ගොන් එව්වා වගේම බලන් ඉන්න පුලුවන් ඇක්ෂන් ෆිල්ම් කිහිපයක් අවුරුද්දකට බිහි වෙනවා.ඔය හැම දේම සලකා බලලා  මම ටිකක් හොයලා බලලා තමා ඕන චිත්‍ර පටියක් බලන්න ගන්නේ නැත්තම් ෂාරුක් ඛාන්ට ආස නිසා "sejal meet harry" වගේ මෙලෝ රහක් නැති (මගේ අදහස) චිත්‍රපටි පැය 2.40 පමණ බලලා කාලේ කා දැමිමක් විතරක් වෙනවා.
                 මම චිත්‍රපටි බලන සයිට් (ඉංග්‍රීසී,දෙමළ,හින්දී ) තුනේම චිත්‍රපටියක් HD තත්වයෙන් බලන්න ඔන්ලයින් අප්ඩේට් කරනකම් ඉවසලා තමා බලන්නේ ඉතින් දෙමළ සයිට් එකේ ඔහොම HD  චිත්‍රපටි හොයද්දී මට හම්බෙනවා  " Mercury"  කියන චිත්‍රපටිය නම ටිකක් හුරු අර්ථයක් වන බුධ ග්‍රහයා උනාට පෝස්ටරේ රසඳිය පාටින් තමා හදලා තිබ්බේ කුතුහලය නිසාම දවස් දෙකකට කලින් චිත්‍රපටිය බැලුවා. බලලා ඉවර් උනායින් පස්සේ තමා මතක් උනේ යකඩෝ පැය දෙකක් කිට්ටු වෙන්න එකම දෙබසක්වත් නොතිබ්බ ෆිල්ම් එකක්නේ බැලුවේ කියලා.
                     මේ කතාව ගෙතෙන්නේ ප්‍රභූ දේවා වටා නිසාමද මන්දා මේ චිත්‍රපටියට අසාමාන්‍ය ජීවයක් තියෙනවා කියලා මට හිතෙනවා.චිත්‍රපටිය පටන් ගන්නේ ගැන් එකක් නිවාඩුවකට ඇවිත් පිස්සු කෙලින තැනකින් මෙයාලා ගොඩක් කල් ඉඳන් හරි අපූරු යාළුවෝ පස් දෙනෙක් කොල්ලෝ හතර දෙනෙක්ට එක හොද යාළු කෙල්ලෙක්, හැබැයි මේ පස් දෙනාටම කතා කරන්නවත්,කන් ඇහෙන්නෙවත් නෑ කියලා චිත්‍රපටිය බලන කෙනෙක්ට වැටහෙන්න විනාඩි 15විතර යනවා.මෙයාලා එකතු වෙලා. හිටියේ ඉස්කෝලේ ඉවර කරලා එදා කෙල්ලගේ උපන්දිනේට කේක් කපලා ඒ ගැන් එකේ ටිකක් කැපී පෙනෙන් කොල්ලා කෙල්ලගෙන් කැමැත්ත අහන මොහොත උදා කර ගන්න පස්සේ කට්ටියම රෑ ජාමේ ජීප් එකක නැගලා පාළු පැත්තකට යනවා .කෙල්ල වාහනේ ඩ්‍රයිව් කරද්දී කෙල්ලට අනික් පැත්තේ ඉඳන් ඉන්න කැමැත්ත අහන්න ඉන්න කොල්ලා විටින් විට ජීප් එකේ ලයිට් ඕෆ් කරනවා දෙතුන් පාරකින් පස්සේ අන්තිමපාර ලයිට් ඕෆ් කරලා ඔන් කරද්දී බල්ලෙක් පාරට පනිනවා එක්කම  කෙල්ල වාහනේ බොහොම අමාරුවෙන් වාරු කරන් නවත්ත ගන්නවා. පස්සේ කොල්ලට හස්ත සලකුණු වලින් කෙල්ල බැනලා ආයෙමත් ආපු ගමන යනවා.ටිකක් පාළු ලස්සනට මීදුම පේන තැනකදී වාහනේ නතර කරලා කෙල්ලයි,කොල්ලයි ඉස්සරහට පයින් යනවා යාළුවෝ ජීප් එකේ බොනට් එකේ ඉඳන් ඉන්නවා. කොල්ලා කෙල්ලට තෑග්ගක් දීලා ආදරේ ප්‍රකාශ කරනවා.කෙල්ලත් එකපයින් කැමති වෙනවා .ටික වෙලාවක් එතන ඉදලා නිවාඩු නිකේතනය් කෙල්ල ආයෙමත් ඩ්‍රයිව් කරන් එද්දී බල්ලා පැන්න වංගුවේ වාහනේ නතර වෙනවා.පස්සේ කට්ටිය බැහැලා බලද්දී දන්වැලක එක පැත්තක් වාහනේ යට හිර වෙලා එතන තිබ්බ කැලේ ඇතුලට අනික් කෙලවර ඇඳිලා ගිහින් කට්ටිය එතන තිබ්බ පඳුරු එහෙට මෙහෙට කරද්දී දකිනවා අනික් කෙලවර මැරුණු මනුස්සයෙක්ගේ අතේ එතිලා කියලා දැන්  පස් දෙනාම දන්වැල ජීප් එකෙන් ගලවන්න බලනවා ....බෑ.. හොදටම කලබල වෙලා ඉන්නකොටම ඈතින් මෝටර්බයිසිකලයක් එනවා දැකලා කර ගන්න දෙයක් නැතුව මිනිය අරන් ඩිකියේ දාගෙන අරන් එනවා.ඊට පස්සේ ගගකට විසික් කරන්න නතර කරනවා ඒත් එතන සී.සී ටීවී කැමරා තියෙන නිසා ආයෙම ඉස්සරහට ජීප් රථය ඇදීගෙන යනවා. පස්සේ මඟදී පහු කරන් ආව පාළු ෆැක්ටරියකට ඇතුල් වෙලා දන්වැල කඩලා එතන තියෙන කැලෑ තැනක වලක මිනිය දාලා පරණ කොල වලින් වහලා ඒ උඩට ලී කොටන් දාලා පාන්දර කට්ටියම නිවාඩු නිකේතනයට එනවා. නිවාඩු නිකේතනේ වැඩ පල කරන් ඉන්න මනුස්සයට සැක නොහිතෙන්න කට්ටියම වැටුනු වැටුනු තැන නිදා ගන්නවා.පහුවදා කට්ටිය ආයෙම නගරෙට යන්න ලෑස්තී වෙලා එක කොල්ලෙක්ගේ mp3.  එක නැති වෙලා හොයලා ,හොයලා බැරිම තැන ආයෙමත් ඊයේ ගිය තැන් වලට යන්න හදද්දී අනික් අය වලක්වනවා ඒත් අන්තිමෙට කට්ටියම එකතු වෙලා mp3. එක හොයන්න යනවා.අන්තිමෙට අර රෑ මිනිය උස්සන් ගිය තැන සෝදිස්සී කරන්න ගියත් කෙල්ල කාර් එකට වෙලා ඉන්නවා කොල්ලෝ හතර දෙනාම mp3 එක හොයන්න යනවා.අන්තීමෙට mp3 එක හම්බෙනවා .කෙල්ලගෙන් කැමැත්ත අහපු කොල්ලා අර මිනිය හංගපු වල බලනවා එතන කොට පැත්තට විසික් වෙලා මිනිය අතුරුදහන් ඒ එක්කම කොල්ලට කෙල්ල ගැන බය හිතිලා අනික් යාළුවන්ටත් වල පෙන්නලා කාර් එක දිහාවට දුවනවා ඒත් කෙල්ල කාර් එකේ නෑ පස්සේ කාර් එක හරවද්දී හෙඩ් ලයිට් අර පාළු ෆැක්ටරිය පැත්තට විහිදෙද්දී පේනවා කෙල්ල් ෆැක්ටරිය ඇතුලේ එහෙට මෙහෙට යනවා හතර දනා එකතු වෙලා ෆැක්ටරියට ඇතුළු වෙන්නේ උඩ හුළන් කවුළුවකින් එතන ඉදන් තමා ප්‍රභූ දේවාගේ විශිෂ්ඨ රංගනය ආරම්භ වෙන්නේ........එතනදී ප්‍රභූ දේවා තමා අර කලින් මළ මිනිය වෙන්නේ ,ඒත් අර කොල්ලෝ තුන් දෙනෙක්ව ප්‍රභූ විසින් මරලා දාලා තියෙද්දී  කෙල්ලයි,කැමැත්ත අහපු කොල්ලයි මහා පරිශ්‍රමයකින් ප්‍රභූගෙන් බේරිලා පැනලා යන්න හදද්දී ප්‍රභූ කොල්ලව ගහලා මරන හදනකොට කෙල්ල අත අල්ලලා සංකේත ක්‍රමයකින් කියනවා තමන් ආවේ විනෝද වෙන්න ඒ අවස්ථාවෙදී වාහනේ මිනියක් පැටලිලා තිබුනා ඒක ගෙනත් වලට අත ඇරියා එතකොට කෙල්ල කියන දේ අහන ප්‍රභූ දේවා කලහකාරි තත්වයෙන් සංසුන් වෙනවා. ඒත් කැමැත්ත අහපු කොල්ලා ඒ වෙනකොට ප්‍රභූගේ පහරකෑමට මැරිලා ප්‍රභූ හස්ත සලකුණු  අත අල්ලලා කියද්දී සංසුන් වෙන්නේ ප්‍රභූටත් කතා කරන්න බෑ ඇස් පෙනෙන්නෙත් නෑ...ඉතින්  ඊට පස්සේ මොකද උනේ? මැරුණ මනුස්සයා පණ පිටින් ද? භූත ආත්මයක්ද? එකටම මැරෙන කොල්ලා ප්‍රභූගේ මිනිය කබඩ් එකක් ඇතුලේ දකිනවා.එතකොට  මිනිමැරිම් සිදු කරන්නේ ප්‍රභූගේ නිවුන් සහෝදරයද?ඒත් ඒ ඇයි? කියලා හරියටම දැන ගන්න චිත්‍රපටිය ඉවර වෙනකම් බලන්න වෙනවා. එක  දෙබසක්වත් නැතුව කුතුහලයෙන් පැය 1 විනාඩී 50 පසුබිමින් ඇහෙන ගබ්ද එක්ක විතරක් චිත්‍රපටියක් බලනවා කියන්නේ ඒක විශිෂ්ඨ නිර්මාණයක් කියන එකයි..
             චිත්‍රපටියේ අවසානය ලියන් නැතුව මෙතනින් නවත්තලා ආරාධනා කරනවා හෙඩ්ෆෝන් එකක් දාගෙන චිත්‍රපටිය බලන්න කියලා.කාලෙකට පස්සේ වෙනස් ආරෙක බොරු හොල්මන් නැති හදවතට දැනෙන දෙමළ සිනමා නිර්මාණයක්.. අවුලක් නැතුව රස විදින්න පුළුවන් කම තියෙනවා කියලා සහතික කරන්න පුළුවන්

http://tamilrasigan.net/mercury/ <-- nbsp="" p="">

Thursday, March 8, 2018

106.රුපියල පා වීම



                 රටක විනිමය අනුපාතය යනු එක් රටක මුදලට තවත් රටක මුදලින් ගෙවන මුදල් ප්‍රමාණය වේ. රටක මුදලට ඇති ඉල්ලුම හා සැපයුම මත රටක විනිමය අනුපාතය තීරණය වනවා මෙන්ම රටකට ලැබෙන හා රටින් පිටවන විදේශ විනිමය මතද රටක විනිමය අනුපාතය තීරණය වේ.
         (උදාහරණ ලෙස මෑතක වැඩි වී ඇති ඩොලර් ගත හොත් ඩොලරය රැපියල් 150 නම් රුපියලක මිල ඩොලරයට සාපේක්ෂව රැපියල 1/150 ලෙස ගණනය කල හැක.අවුරුදු දහයකට පෙර රුපියලේ වටිනාකම හා අද වන විට රුපියලේ වටිනාකම සැසඳු කල රුපියලේ වටිනාකම සීඝ්‍ර ලෙස පහත වැටි ඇති බව කාටත් නොරහසකි. නමුත් යම් හෙයකින් රුපියලක මිල ඩොලරයට සාපේක්ෂව 1/50 වුවහොත් එයින් අදහස් කරනුයේ රුපියලේ වටිනාකම වැඩි වී ඇති බවය. නමුත්  පාවෙන රුපියලට වටිනාකමක් ලබා දීමේ අසීරුතාවයකට වර්තමාන පාලන තන්ත්‍රය පත් වී ඇත.
       
              1948 දී බ්‍රිතානය පාලනයෙන් පසු රට තුල ඇති වු ස්වභාවික විපත්(සුනාමි,ගං වතුර,නාය යෑම්) හා යුද්ධය ශ්‍රී ලංකා ආර්ථිකයට විශාල වශයෙන් බලපෑම් කරන ලදී.නමුත් 1948 න් පසූ අද වන තුරු පත් වූ කිසිදු ආණ්ඩුවකට නිවැරදි වූත් ඉතා නිෂ්චිත ඵලදායි ආර්ථික සැලසුමක්  අනුගමනය කිරිමට නොහැකි වීම නිසා රුපියලට ඇති වටිනාකම දිනෙන් දින පහත වැටෙමින් පවති.
    70-77 දක්වා පැවති රජය සමාජවාදී ආර්ථික ප්‍රතිපත්ති අනුගමනය කල අතර 77-94 දක්වා පැවති එක්සත් ජාතික පක්ෂය ධනවාදී ආර්ථික ක්‍රමයක් අනුගමනය කලේය. ඉන්පසු පත් වූ සෑම ආණ්ඩුවක්ම ධනවාදී ආර්ථික ක්‍රමය අනුගමනය කලද කිසිදු ක්‍රමයක් අප ආර්ථිකයට සාර්ථක ප්‍රතිඵල උදා කර දීමට අපොහොසත් විය.
       මෙයින් සිදු වුයේ දිනෙන් දින මහජනතාව මත පැටවෙන  ජීවන  වියදමට සාපේක්ෂව වෘත්තිය සමිති මගින් වැටුප් වැඩි කිරිම සම්බන්ධව කේවල් කිරිමය. මේ නිසා කාර්මික සහාය රටට අහිමි වීමේ අවාසිදායක තත්වයට මුහුණ දීම මග හැරිමට රජයට වැටුප් වැඩි කිරීමට සිදු වේ. නමුත් මෙම සංසිද්ධිය දිගින් දිගටම සිදු වුවහොත් සර්පිලාකාර උද්ධමනයකට ( උද්ධමනය යනු අඛණ්ඩව සහ නිරන්තර සාමාන්‍යය මිල මට්ටම ඉහළ යෑම) මුහුණ දීමට සිදුවීමය.
          
  රැපියල ආරක්ෂා කිරිම
_______________________________
          රුපියල ඉතා සීඝ්‍රයෙන් අවප්‍රමාණය වලක්වා,රුපියලේ වටිනාකම ආරක්ෂා කිරිමට ශ්‍රී ලංකා මහ බැංකුව මැදිහත් වීම පසු ගිය අවුරුදු කිහිපය පුරාවටම අපට දැක ගත හැකි විය. එහිදි ශ්‍රී ලංකා මහ බැංකුව සිය විදේශ සංචිත වාණිජ බැංකුවලට විකිණීමත් සමග වාණිජ බැංකුවල රුපියල් මහ බැංකුව වෙත ඇදී නමුත් ශ්‍රී ලංකා මහ බැංකුව සතු දේශීය මුදල් රටේ මුදල් සැපයුමේ කොටසක්‌ නොවන බැවින් සිදු වන්නේ රට තුළ සහ වාණිජ බැංකු පද්ධතිය තුළ ද්‍රවශීල හිඟයක්‌ ඇතිවීමය. මෙම අර්බුදයට මුහුණ දෙන වාණිජ බැංකු අධික පොලියට තැන්පතු රැස්‌කිරීමට පටන් ගැනීමෙන්  රටේ පොලී අනුපාතය ඉහළ යන අතර, එය රටේ මූල්‍ය පද්ධතියේ ස්‌ථාවරත්වයට අහිතක ලෙස බලපානු ලැබේ.තවද විදේශ 0චිත විකුණා පොලී අනුපාත ඉහළ දැමිම කල නමුත් වර්තමානය වන විට රටෙහි ඇති වී ඇති තත්වය සමග තව දුරටත් මහ බැ0කුවට මැදිහත් වී රුපියලේ අගය ආරක්ෂා කල හැකිද යන්න මහ ජනතාවට ඇත්තේ දෙගිඩියාවකි.
            

      රැපියල පා වීමට හේතු හා ඇති වී ඇති තත්වය වාසිදායකද? අවාසිදායකද?
_________________________________
              ස්ථීර වුත් විශ්වාස වුත් ආර්ථික ප්‍රතිපත්තියක් නොමැති වීමෙන් දිනෙන් දින මහ ජනතාව අපහසුතාවයට පත් වන අතර  පවතින රජය මෙන්ම 77 සිටම පත් වු රජයන් මේ තත්වයට සෘජුවම වගකිව යුතුය. හිතුමනාපයට රාජ්‍යය මුදල් අවභාවිතය, විශාල ණය ප්‍රමාණයක් සංවර්ධන කටයුතු සදහා මනා කලමණාකරනයකින් තොරව ලබා ගැනීම හා මෑත කාලයේදී සිදු වු බැඳුමකර වංචාව මෙන්ම පාර්ලිමේන්තුව තුල මැති ඇමතිවරු වැඩි කර ඔහුන්ට වැටුප් ගෙවිම යන කරුණු හේතු කොට ගෙන මහ ජනතාව තව තවත් බදු බරින් පීඩාවට පත් වේ.
       රුපියලේ අගය අඩු වීම නිසා පිටරටින් ගන්නා ණයවල වටිනාකම දේශීය මුදලින් ඉහළ අගයක්‌ ගත් නමුත් ණය ආපසු ගෙවීමේදී වැඩි රුපියල් ප්‍රමාණයක්‌ අවශ්‍ය වන බව පාලකයන්ට අමතක වීම නිසා ලංකාවට ඇති වී ඇති ආර්ථික අර්බුදය සුළුපටු නැත. සංවර්ධනය සදහා ගනු ලබන විදේශීය ණයවලින් වැඩි රුපියල් ප්‍රමාණයක්‌ ආයෝජනය සදහා වැය කිරීමට හැකියාව ලැබුනද ගනු ලබන ණය සංවර්ධනය සඳහා යොදවන්නේ නැති නම් රැපියලේ අඩු අගයෙන් ලැබෙන වාසිදායක තත්ත්වය අහිමි වී යනු ඇත. අනුව ණය බර තව තවත් වැඩි වේ. මේ නිසා අයවැය හිඟය සීග්‍රයෙන් වැඩි වන අතර ඊලගට සිදු වන්නේ භාණ්ඩ හා සේවා මත පතිත වන බදු බරින් අවුරැද්දෙන් අවුරැද්දට මහ ජනතාව අපහසුතාවයට පත් වීමය.

             ඇතැම් ආර්ථික විද්‍යාඥයන්  තර්ක කරමින් විනිමය අනුපාතය අවප්‍රමාණය වීම දිගු හා මධ්‍යම කාලීන ආර්ථික සංවර්ධනයට හිතකර වනු ඇතැයි පැවසුවද, එය ප්‍රායෝගික නොවන බව අද වන විට ලංකා ආර්ථිකය මුහුණ දෙන ගැටළු වලින් අපිට පෙනි යයි. දිගුකාලීන ආර්ථික සංවර්ධනය විනිමය අනුපාත අව ප්‍රමාණය තුළින් ලබා ගත නොහැකි අතර, විශ්වසනීය ආර්ථීක ප්‍රතිපත්ති තීරණ ගැනිමෙන් මේ තත්වය මග හැර ගත හැක. එහෙත් මෑතදී රජය විසින් ගනු ලැබුවේ ආයෝජකයන්ගේ විශ්වාසය බිදෙන ප්‍රතිපත්ති හා තීරණයන්ය. එයද අප ආරිථිකයට අවාසිදායක තත්වයක් උදා කර දී ඇත.

                      තව දුරටත් රට ගොඩ ගැනීමට නම් සියළු පක්ෂ පාට බේදයකින් තොරව එකතු වී කටයුතු කල යුතු කාලය පැමිණ ඇත. බල තණ්හාවට ලෝබකමින් කටයුතු කිරිම නවතා ලංකාව වැටෙමින් පවතින අගාදයෙන් ගොඩ ගත යුතුය. පාලකයන් මැදිහත් නොවන්නේ නම් මහ ජනතාව එකා මෙන් එකතුව නැගිටිය යුතු කාලය පැමිණ තිබේ.දේශිය ගොවියා ශක්තිමත් කර රට ස්වයංපෝෂිත යුගයකට නැවත ගෙන යෑමේ තදබල වගකීම රටේ ජනතාව සතුවේ. නැතහොත් පවතින තත්වයෙන්ම රට අවුරැදු දහයක් ඉදිරියට ගියහොත් ඇති වන්නේ භයානක තත්වයකී.   
       
                  අමතක නොකල යුතු අනෙක් කරැණ නම් චීනය සිය ප්‍රාග්ධනය වෙනුවෙන් ආකර්ශනීය ආර්ථික ප්‍රතිලාභයක් ලබාගැනීමට කැමති රටක් බවත් එමෙන්ම අප්‍රිකානු රටවල් විශාල පුමාණයකට ණය ලබා දී බුවල්ලෙකු මෙන් එම රටවල  ඇති  වටිනා සම්පත් ඬුවෙන් ඬු අල්ලා ගෙන තමන් සතු කර ගැනීමට සමත් වු බවත් අප අමතක නොකල යුතුය. රට වලට වාසිදායක අවස්ථා උදා කර දෙමින් ණය ලබා දී නිෂ්චිත කාල වකවානු වල එම ණය පිය වීමට නොහැකී වීමෙන් ඔවුන් අදාල සම්පත් තමන් සතු කර ගැනිමට ආණ්ඩු අසරණ තත්වයකට පත් කරන සුක්ෂම උප්පරවැට්ටිකාරයන් බවත් අප මතකයේ තබා ගත යුතුව ඇත
              තවදුරටත් රට වෙනුවෙන් වගකීමකින් තොරව ගන්නා තීන්දු තීරණ වලින්  පීඩාවට පත්වන්නේ රටේ පාලකයන් නොව මහජනතාව බව අවසාන වශයෙන් කිව යුතුමය.



කරැණු ගොනු කිරීම අන්තර්ජාලය ඇසුරෙන්